Wednesday, April 13, 2016

සැරසිල්ල.

මහා උජාරුවක් නැති ව වුව ද, අවුරුදු නිවාඩුව අවසන් වන්නට ඔන්න මෙන්න තියා, තාත්තා යළිත් වරක් කොළඹ යන්නට ලක ලැහැස්ති වුණේ ය. මෙවර ද මට ඒ වාසනාව අහිමි වූයේ මෙදා වාරයේ පාලිත සමග යන නිසා ය. 

මෙවර තාත්තා යද්දී අප ව පිටස්තර ගෙදරක නැවැත්තුවේ නැත. ආච්චී ද අප සමග සිටියා ය. ඊට අමතර ව ඉතා කුඩා සන්දියේ උහන දී අප ව බලා කියා ගත් කොළණියේ නැන්දා ද පැමිණියා ය. ඈ සමග අප වයසේ ම වූ හීන්දෑරියෙක් ද පැමිණ සිටියෙන් අපට මහා පාඩුවක් දැණුනේ ද නැත. අපි අයියාත් මාත් ඒ කොල්ලාත් ඇති තරම් සෙල්ලම් කළෙමු. වත්ත පිටියේ පැළ සිටෙව්වෙමු. දූවිලි නෑවෙමු. හැන්දෑවේ ඩෝමැට්‍රියෙන් නාගෙන පැමිණියෙමු. නමුත් ඒ සෙල්ලම් කාලය ද ඉතා ම ඉක්මණින් අවසන් වූයේ තාත්තාගේ සංචාරය දින 4කට පමණක් සීමා වීම නිසා ය.

ගමන් විස්තර ඒ තරම් රසට අපට අසා ගන්නට නොහැකි වූයේ ස්වභාවයෙන් ම පාලිත කතා කාරයකු නොවන නිසා ය...එනිසාවෙන් ඒ සිද්ධිය බොහෝ කෙටි මතක සටහනක් ම පමණක් විය.


නමුත් පොසොන් මාසය උදා වත් ම තාත්තා යළි කොළඹ යන බවක් අපට ආරංචි විය. ඒ ආච්චීගෙනි. 
මෙවර තාත්තා කෙළඹ ගියේ තනිව ම ය. එසේ යන අතර නැවත වරක් කොළණියේ නැන්දා පැමිණියා ය. තාත්තා ගිය පසු නැන්දා ද, ආච්චී ද මුලු ගෙදර ම අස් පස් කළෝ ය. අපි දු ඊට උදව් පදව් කළෙමු. ‍චූවලින් පෙඟුණු මෙට්ට අව්වේ දැමීම ද, අව්වේ කරකුට්ටං වී ඇති මෙට්ට මත පිට පිච්චි පිච්චී සෙල්ලම් කිරීම ද මහා විනෝද ජනක විය.. ඒ අතරේ ආච්චී ද අපට බැණ අඬගෑවේ තරහට ම නොවන බව අපට දැනී තිබූයෙන් ඒවා කණකට නොගත්තෙමු. 

දිග ලීයකට කොළ අත්තක් බැඳ මකුළු දැල් කැඩීම ද අපට මහා කාරියක් විය. ඒ කොළ අත්ත පොල් අතු වහළයේ වැදී, දිරූ පොල් අතු කැබලි කැරකි කැරකී සුළ‍ෙඟේ පාව යනු දැකීම ද අපූරු විය. ඊටත් අමතර ව, මාලු කටු ආදිය ද එහෙන් මෙහෙන් බිම වැටුණේ ය. ඒ කාක්කන් විසින් පොල් අතු අස්සේ සඟවා තිබූ ඒවා ය.
සවස් වෙත්දී අල්ලපු කුඹුරේ මාමා ද අපට උදව්වට පැමිණියේ ය. පන්ති කාමරයේ තිබූ ඩෙස් බංකු ටික ඇද, ඒවා එක පිට එක තබමින් බිත්තියක් අයිනෙන් ගොඩ ගැසුවේ ඒ මාමා ය.  දැන් ශාලාව හිස් ය. ලොකු ඉඩක් ලැබී තිබේ. පළමුවෙන් ම මා කළේ මේ ගොම මැටි ගෑ සීතල පොලොව මත වට දෙක තුනක් රෝල් වී යාම ය. ඊට පසු පාලිත ද ඒ අනුකරණය කරන්නට පටන් ගත්තේ ය. එසැණින් ආච්ච පැමිණ මගේ තට්ටමට ගැසූ පහරත් සමග එය ඉක්මණින් අවසන් විය.

පසුව දා අපට වඩාත් සන්තෝස, ප්‍රිය ජනක දවසක් වූයේ ලොකු අම්මා ද, වසන්තයියා ද, අනිල් අයියා ද පැමිණීම ය... 

ලොකු අම්මාත්, ආච්චීත්, කොළණියේ නැන්දාත් කුස්සියට වැද මහා ලොකුවට මොන මොනවාදෝ ලක ලැහැස්ති කළෝ ය.. නැන්දා ලොකු වංගෙඩියෙන් මහා සද්දෙට පිටි කෙටුවා ය. ලොකු අම්මා ඇඳ සිටි සාරියට උඩින් ආච්චීගේ කම්බායක් ඇඳ ලහි ලහියේ පොල් ගෑවා ය... එයින් වරුවකට පසු බැදුම් සුවඳ ද, පැණි සුවඳ ද දසත පුරා ගලා ගියේ අප මහත් අමන්දානන්දයට පත් කරමිනි. ඒ අතරේ වසන්ත අයියාත්, අනිල් අයියාත් නෙක වර්ණ කැරලි ගැසුණු ක්‍රේප් පටි ගෙන, ඒවා සාලයේ වහළය මත රටාවකට එල්ලන්ට පටන් ගත්තෝ ය. අයියා ද ඔවුන් සමග ඒ රාජකාරියේ යෙදුනේ ය. ඉඳ හිට එකට එතී කැරලි ගැසුණු පටි දිග හැර දීම මට පැවරුනේ ය. පාලිතට පැවරුණු රාජකාරිය වූයේ පාප්ප පොල් කට්ට අල්ලාගෙන පෑම ය... මේ සැරසිලි කරන්නේ ඇයිදැයි අපට වගේ වගක් නොවූව ද, ක්‍රේප් පටි වතුරේ පොඟවා, එයින් එන වර්ණවලින් අතේ ඇඟිලි පාට කර ගැනීම මටත් පාලිතටත් ලොකු වැඩක් විය.

අවුරුද්දටත් වඩා සරුවට අපට කැවුම් කොකිස් රස බලන්නට ලැබුණේ ය.... හැන්දෑවේ අපේ සරණ නිවස මගුල් ගෙයක සිරි ගත්තේ ය. ඉර බැස ගිය පසු ලොකු අම්මා ද, වසන්ත අයියා ද, අනිල් අයියා ද ඩෝමැට්‍රිය පසු කර, හොල්මන් ගල දෙසට නොපෙනී ගියේ ය.. එදින රාත්‍රී ආහාරය අතිශය රසවත් එකක් විය. 

සියලු ඇඳන් ගලවා ඇති නිසාවෙන්, සාලයේ මෙට්ට දෙක දමා අපි එහි නිදා ගත්තෙමු. දෙපස දොරවල් දෙක මේස දෙකක් පෙරලා හරස් කර වසා දැමුවේ අයියා සහ මා ය. ආච්චීත් නැන්දාත් නිදා ගත්තේ ඒ අසළින් ම එලූ පැදුරු මත ය. එදා රාත්‍රය කෙතරම් සුන්දර වීද යත් අප කාටවත් චූ ගිහින් තිබුනේ ද නැත.....!

Share/Bookmark

11 comments:

  1. පොසොන් මාසේ මොකද හදිසි උත්සවයක්...
    ඉන්දරේ අයියා කොටහළු උනාවත්ද...? :D :D :D

    ReplyDelete
  2. ඉතින් මොකක්ද ඔය හදිස්සි උත්සවේ ? පොසොන් එකට ඔහොම කැවිලි හදලා ලකලෑස්ති වීමක් වෙන්නෙ නෑනේ සාමාන්‍යයෙන්.

    ReplyDelete
  3. මඟුල් සුවඳක් දැනෙනවා...
    ජයවේවා..!!

    ReplyDelete
  4. කාගෙද බොලේ මගුල.

    ReplyDelete
  5. ඉතුරු කොටස කියවන්ඩ තව කාලයක් බලා ගෙන ඉන්ද වෙයි මයෙ හිතේ...කවුරුහරි ටී 56 ක් වත් ඔළුවට අල්ලන් ඉන්ඩලකො එතකොටවත් මේ කතා ටික ඉක්මනට ලියවෙයි...

    ReplyDelete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා! එනකම් මඟ බලාගෙන හිටියෙ .සියලු දෝස දුරු වී දිගටම ලියන්න වාසනා වේවා !





















    ReplyDelete
  7. ///චූවලින් පෙඟුණු මෙට්ට අව්වේ දැමීම ද, අව්වේ කරකුට්ටං වී ඇති මෙට්ට මත පිට පිච්චි පිච්චී සෙල්ලම් කිරීම ද මහා විනෝද ජනක විය..///

    අපිත් පුංචි සන්ධියේ වේලෙන්න දාපු මෙට්ටේ උඩ දඟලපු එක අමතක වෙලා තිබුනේ...
    මේ කතාවෙන් පස්සේ ඒ මතකය අලුත් උනා...

    කතාව කියෙව්වම මටත් දැනුනේ මගුල් සුවඳක්. අනික මැයි මාසෙත් එක්කනේ...

    ReplyDelete
  8. සුපුරුදු ලෙසම ලස්සනට ගලාගෙන විත් අන්තිමට දිය ඇල්ලක් ලෙස නිමකළ ආකාරය...අනගියි.. මේ පාර කුතුහලයකුත් සමග

    ReplyDelete
  9. සුපුරුදු ලෙසම ලස්සනට ගලාගෙන විත් අන්තිමට දිය ඇල්ලක් ලෙස නිමකළ ආකාරය...අනගියි.. මේ පාර කුතුහලයකුත් සමග

    ReplyDelete
  10. ඊළඟ කොටසේදී උස්සලා පොලවේ ගහන දුකක් තියෙයි කියල බයේ මම මේ ඉන්නේ.....

    ReplyDelete