Tuesday, May 31, 2016

මගුල් ගෙදර

එදා දවස උදා වී තිබුනේ වෙනදාට කළියෙනි. ඒ අප නොඇසූ කටහඬවල් ගණනාවක කෙළි කවට සිනාවන් නිසා ය. ලොකු අම්මා ද ඒ අතර වූවා ය.. වැඩියෙන් ම ඇසුනේ ඇගේ හඬ ය. ඒ සමග නාස් පුඩු ප්‍රහර්ෂයෙන් මුසපත් කරවමින් ලොකු සුවඳක් ද ගලා ආවේ ය.. හිනා හඬ අස්සෙන් මොනවා දෝ බැදෙන තෙල් තාච්චිය නටන හඬ ඇසුනේ ය...හිස නවා ඔලු කසමින් අප මොහොතක් ඇඳන් මත ම කල් මැරුවෙමු. "යමල්ල පුතේ මූණ කට හෝදගනිල්ල.." ඒ ආච්චී ය. ඒ හඬ වෙනදාටත් වඩා කරුණාවන්ත ය. ආදරණීය ය. අපි ඒ හිමිදිරි උදයේ ම ඩෝ මැට්‍රියට දුව ගොස්, ඇඟ පත සෝදාගෙන ආවෙමු. ඒ ආ විට අපට තිබෙන හොඳ ම ඇඳුම් අඳින්නට ලැබිණි... ඒ "නඩලං ගහල ඕව ජරා කර ගන්නව නෙමෙයි බොලව්..!!" යි ආච්චී ගේ තර්ජනය ද සමග ය.

දසත පුරා පැතිරෙන කෑම සුවඳ බඩගිනි වඩවයි. නමුත් ඒ ගැන සිතන්නටත් පළමු ව වසන්තයියා ප්‍රමුඛ නඩය ම, ඩෝමැට්‍රිය‍ෙ ඉහත්තාවෙන් පල්ලම් බසිනු අපට පෙනෙයි. කුස්සියටත්, ගල් කුලටත් අතරින් ඇති පිදුරු කන්ද ද අපට ඒ සමග පෙනෙයි. පිදුරු කාටුව ඇඟ ගැටී කස කසා සෙල්ලම් කළ හැකි ආනන්දණීය අවස්ථාව සැනෙන් හිතෙන් පලා යන්නේ ආච්චී ගේ තරවටුව යළි ඇසෙන නිසා ය..

අවට ඉඩම්වල නැන්දලා ද, මාමලා ද, ඔවුන්ගේ දුවා දරුවන් ද, තාත්තාගේ පන්තියේ ළමුන් සහ ඔවුන්ගේ වැඩිහිටියන් ද එකා දෙන්නා දැන් අපේ සරණ වෙත එනු පෙනෙයි. ඔවුන් මේ හොඳ ඇඳුම් ඇඳ අපේ දිහා එන්නේ මන්දැයි දැන් දැන් මසිත කුකුසක් පහළ වෙයි. ඒ එන අයගෙන් බොහෝ අය අත මොකක් හෝ මලු කෑල්ලක් ද තිබෙයි. ගෙට එන ගමන් ඔවුන් අප හිස් ද අතගායි. එයින් අවුල් වන කෙස් රොද යළි අපි අතින් සකසා ගන්නෙමු. මේ මොන හෙයියම්මාරුවක්දැයි සිතෙන අතර ම කිසියම් ආනන්දණීය සන්තෝසයක් ද ම සිත පුරා පැතිරෙයි. නමුත් තවම කන්න නො ලැබුණු දුක ද වැඩි මනත් දැනන්නේ අර මනරම් සුවඳ නිසා ය...

උදා හිරු රැස් තරමක් ඉහළ යන අතර වාරයේ, කරත්තයක් යාන්තමින් යා හැකි පාර දිගේ කලු පාට කාරයක් එනු පෙනෙන්නේ ඒ අතර ය... ආච්චී ද, ලොකු අම්මා ද ඇතුලු සියල්ලෝ ම වහ වහා කඩිසර වෙයි. ආච්චී ද ඇඳ සිටින චීත්තය හරිගස්සා ගනිමින්, සිනා මලක් මුව රන්දාගෙන වහා ඉදිරියට දිව එයි. කළු කාරය එන්නේ ඉතා හෙමිනි. ඒ පාර සවුත්තු නිසා ය. අපි සියල්ලෝ ම සීරුවෙන් මේ අලකලංචිය නරඹන්නෙමු. දැන් විටින් විට සැර දමමින් එන කාරයේ හඬ ද අපට ඇසෙයි. ඒ අතරේ ම ඩක් ඩොක් ගාමින් එය සෙලැවෙන හඬ ද අපට ඇසෙයි. කාරයේ කරකවන රෝදය අල්ලාගෙන සිටින්නා කවුදැයි අප හඳුනන්නේ නැත.

එහෙත් කාරයේ පිටුපස ආසනයේ අපට පෙනෙන පැත්තේ තාත්තා වාඩි වී සිටිනු ට පෙනෙයි...

එහා පැත්තේ තවත් කෙනෙක් සිටිනා වග යාන්තමින් පෙනුන ද ඒ කවුදැයි කිසිසේත් ම අප දන්නේ නැත...

කාරය සරණේ එළි පත්තට ආසන්න ව නැවතුණු පසු තාත්තා එහි දොර ඇරගෙන බැස්සේ සුපුරුදු ජාතික ඇඳුමෙනි. එය වෙනදා ට වඩා අලුත් ය. ඊ ළඟට තාත්තා කරය වටේ ගොස් අනෙක් පැත්තේ ද දොර හැරියේ ය. ඉන් බිමට බැස්සේ කාන්තාවකි.. කොණ්ඩ ගුලියේ රතු මලක් ද ගසාගෙන, රතු සාරියකින් සැරසීගෙන ඈ කාරය ඉදිරිය‍ට ආවේ ද සිනා මලක් මුව රන්දාගෙන ය. ඈ බෙහෙවින් පැහැපත් ය. ඒ පැමිණි ඇය පළමු ව ආච්චීට දණ ගසා වැන්දේ වැලි පොළොව මත දී ම ය.. ආච්චී අත වතුර වීදුරුවක් තිබෙනු මා දැක්කේ ද එවිට ය. ඉන් පසු තාත්තා ද ආච්චීට වැන්දේ ය. ඉන් පසු දෙනො ම අප සියල්ලන් සිටි පැත්තට දෙඅත් එක්කර ආයුබෝවන් කීවේ ය... ඊට මා දැක්වූ ප්‍රතිචාරය තුමක්දැයි මතක් කර ගන්නට  මම උත්සාහ කරමි... නමුත් කිසිවක් සිහි නොවන්නේ මුකුත් ම නො කළ නිසා වන්නට පුලුවන.

මේ තාත්තා කැන්දාගෙන ආවේ අපේ කුඩම්මා ය....!!

වාහනය පදවාගෙන ආ මාමා කාරයේ පිටි පස්ස ඇර එහි තිබූ බෑග් මලු දෙක තඅනක් බිමට බෑවේ ය.. ආවේ කවුදැයි කින්ද මන්ද සොයානවාට වඩා අප හැමගේ රාජකාරිය වූයේ කාරයේ වගතුග බැලීම ය. එහි ඉදිරිපස ඉතා තද රස්ණයකින් යුක්ත වූයේ බොහෝ දුරක් පැමිණි නිසා විය යුතු ය. මඩකලපුවේ සිට අම්පාරට හැතැප්ම ම තිස් ගානක් තිබෙන වගක් කළින් අසා තිබුණේ අයියාගෙනි. ඒ ඔවුන් කොළඹ ගිය නිසා ය. කොළඹ සිට එන කෝච්චිය මඩකලපුවට එන්නේ උදේ පාන්දර ය. එතැන් සිට අම්පාරට එන්නට පැය දෙක තුනක් ගත වෙයි. තාත්තලා මේ තරම් ප්‍රමාද වූයේ ඒ නිසා ය.

තාත්තලා ගෙන ආ බඩු මලු රාජකාරි අවසන් වූ විගස කාරයේ මාමා තාත්තාගෙන් යම් මුදලක් අර ගත්තේ ය. ඉන්පසු හේ මඳක් නැවී තාත්තාට සහ බුංචි අම්මාට දෙමළෙන් මොකක්දෝ තනි වචනයක් කීවේ ය. ඉන් පසු ඔහු යළි කාරය දෙසට ඇවිද ගියේ අපේ හිස් පේලිය ම අත ගාගෙන ය... කාරය හරවා ගන්නට දෙතුන් වරක් ඉහළ පහළ ගිය හැම වාරයක ම අපි ඊට අත ගැසුවෙමු. ජනේලයෙන් අත දමා වනමින් ඔහු සැර දමාගෙන යන අතට අපි දු දිව ගියෙමු. ආවාට වඩා බොහෝ වේගයෙන් කාරය අප තනිකර දමා ඉගිළ ගියේ ය.....

අපට යළි බඩගිනි දැනුනේ ඉන් පසුව ය....

Share/Bookmark

12 comments:

  1. අපිත් මගුල් ගෙදර ගියා වගේ. කවදද සර් "මගේ කතාව" පොතක් විදියට කියවන්න ලැබෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව්. එකදිගට කියවනකොට තමයි වඩා හොඳ

      Delete
  2. මේ කතාව ඇත්ත කතාවක් ද ?

    ReplyDelete
  3. ගිය පාර කතාවෙන් මෙහෙම මංගල්ලයක්දෝ කියලා සැකයක් ආවත් තාත්තා දෙවැනි කසාඳයක් කරගත්තා කියලා අදහසක් කලින් කිසිම තැනක ලියවුන දේකින් ලැබුනේ නැති හින්දා බලං හිටියේ මොකක්ද වෙන්න යන්නේ කියලා...
    කුඩම්මා සහ දරුවෝ ගැන ඉදිරියේදී කියවන්න ලැබෙයි නෙව...

    ReplyDelete
  4. //අපට යළි බඩගිනි දැනුනේ ඉන් පසුව ය....//

    මේ කොටස එදාට අදාල එකද්ද, එතනින් පසු කාලයට අදාල එකක්ද?

    ReplyDelete
  5. අපොයි මගේ නම් පපුව ගැහෙනවා දැන්.... මොකද්දෝ අමාරුවක් වගේ... ඉක්මනට ලියනවද අපේ ලේ පුච්චන්නේ නැතුව

    ReplyDelete
  6. නතර කරපු තැන ගැන මනාපයක් නැහැ, ඉක්මණට ඉතිරි කොටස දානවද කරුණා කරලා...

    ReplyDelete
  7. ආයෙත් ඉතින් මාස ගාණක් බලා ඉන්න එපැයි...
    ජයවේවා..!!

    ReplyDelete
  8. හප්පේ කාර් එක එනකල් මාස ගානක් බලා ඉන්න උනා නොවෙ.
    දැං ඉතිං මනමාලි ගෙට එක්කං යන්න තව කොච්චර කල් ගන්නවද?

    ReplyDelete
  9. මං හිතුවේ 'කුඩම්ම ඩම්ම වෙලා..." කතාවෙන් පස්සේ අදහස අත ඇරුනද කියල.

    ReplyDelete
  10. හප්පේ කාර් එක එනකල් මාස ගානක් බලා ඉන්න උනා නොවෙ.
    දැං ඉතිං මනමාලි ගෙට එක්කං යන්න තව කොච්චර කල් ගන්නවද? x 2 :)

    ReplyDelete
  11. කමෙන්ට් එකක් නෙවෙයි කමෙන්ට් යායක් ලියන්න කලින් කියවලා ඉවර කරන්න ඉඩදෙන්න. නැවතිලා වගේ පෙනුනට නැවතිලාම නොවෙයි කියලා හිතනවා...

    ReplyDelete