දිනෙක හවස් වරුවේ ඇලෙන් නා අවසන් වූ පසු තාත්තා තවත් ගමනක් අප සමග ගියෝ ය. ඒ ඇල පාර දිගේම තරමක් දුර ගොස් අතුරු පාරකට හැරී එහි කෙළවර වූ නිවෙසකට ය. එ් නිවෙස අප අම්පාරේ දැක තිබෙන බොහෝ නිවෙස් මෙන් ම සිමෙන්තියෙන් බැඳ, ඇස්බැස්ටස් සෙවිළි තහඩුවෙන් වහළය සෙවිල්ලන ලද එකකි. නිවසේ බිත්ති ළා කොළ පාට ය. මිදුල තරමක් විසල් ය. එහි මැදින් ගෙයි මහ දොර දක්වා සීරුවට තණකොළ කපා සුද්ද කොට, රටාවට ඇමදූ පාරකි.
තාත්තා අප බැස්සවූ පසු බයිසිකලය ගෙන සුපුරුදු පරිදි, ලැගේජයේ ස්ටෑන්ඩ් එක දිගු කර සිටවා නැවැත්තුවේ ය. ගෙයින් එළියට ආව් තරමක් කළු හින්දෑරි කාන්තාවකි. ඈ ලොකු මල් සහිත ලුංගියක් ඇඳ සිටි වග මට මතක ය. නැමී දොරෙන් එබී බැලූ ඇය "අනේ ලොකු මහත්තයා.. එන්න ගෙට.."යැයි ඉතා ම සුහද ව ආරාධනා කර සිටියා ය. තාත්තා පසු පසින් අප ඉස්තෝප්පුවට ගොඩ වූ විට ඇය "එන්න මහත්තයා. ඇයි මේ එළියෙං.. එන්න මෙහේට.."යැයි කියමින් අප ව ගේ ඇතුළට ම කැඳවූවා ය.
ගෙයි මැද සාලය තරමක එකකි. එහි මැද ටීපෝවක් වටා වූ ඇඳි පුටු හතරකි. පුටු හතර මැද එක් හිසු තැනෙක කුඩා කනප්පුවකි. මම තවත් වට පිට බලමි. සාලයේ කෙළවර බිත්තිය අයිනේ ලොකු කැබිනෙට්ටුවකි. එහි පිඟන් බඩු මහ ගොඩක් අසුරා තිබෙයි. එහි උඩ රේඩියෝවක් තිබෙයි. නමුත් එය ලොකු තාත්තාගේ වයර්ලස් එක තරම් විසල් නැත. ඊට මෙපිටින් තිර රෙදි දැමූ දොරවල් දෙකකි. මා වාඩි වූ පුටුවට ඉදිරියෙන් පියන් හතරක ජනේලයකි. ඊට ද තිර රෙදි දමා තිබෙන අතර, ඒවා සුළඟට වැනෙයි. එසේ ඇරෙන වාරයක් පාසා මහ එළියක් සාලයට දෝරෙ ගලයි.
"සර්, අපේ එක්කෙනා මේ ළඟ වත්තට ගියා. මං එයාට එන්න කියන්නං.."යැයි කියූ අර කාන්තාව අතුරු දහන් වෙයි. තරමක් වේලාවක් යනතෙක් කිසිවකු නැත. අප ද නිහඬ ව ඔහේ සිටිමු. ටිකකින් කීප දෙනෙක් ම පියවර තබමින් එන හඬ අපට ඇසෙයි. තරමක උස කෙසඟ නොවන පුද්ගලයෙක් ොරෙන් එබෙයි. ඔහුගේ ඇෙඟේ දැවටී අප වැනිම හිච්චං කොලු කුරුට්ටන් තුන් හතර දෙනෙකි. ඔහු දොර ළඟ සිටගෙන ම කැහැපට ගසා තිබූ සරම පහතට හෙලා, නැවී බොහෝ ගරු සරු ඇති ව "අනේ ලොකු මහත්තයා, මේ වත්තට හරක් රැලක් පනිනව හරි කරදරේනෙ.. වැට පොඩ්ඩක් ඒදන්න ගියා.." කියයි. ඉන් පසු ඔහු කනප්පුව ඇද තාත්තා ළඟ වාඩි වෙයි. ඔවුන් කතා කරන දේ අපට වැදගත් නැත.
ටිකකින් අර කාන්තාව ට්‍රේ එකක තැබූ පියන හැරි කාඩ් බෝඩ් පෙට්ටියක් ද සහිත ව දොර රෙද්දෙන් මෑත් වෙයි. ඈ මුලින් ම යන්නේ තාත්තා අසළට ය. ඇය නැමී තාත්තා වෙත ට්‍රේ එක පායි. තාත්තා අත දමා කිසිවක් ගනියි. ඉන් පසු ඈ අප දෙසට පැමිණෙයි. මා ද අයියා ද, පාලිත ද තාත්තා මෙන් ම ඈ අල්ලන දේ ගනිමු. ඒ බිස්කට් ය.

සුදු පැහැයට හුරු කහ පැහැති බිස්කට් එක තට්ටු දෙකකි. එහි දාර බීක්කු බීක්කු ය. මතු පිට තැනින් තැන ලොකු සීනි කැට දෙක තුනකි. මැද ඇත්තේ ද සුදු පැහැ ක්‍රීම් එකකි. ඒ අත තබාගෙන මහා අරුමයක් දුටුවා සේ සිටින අපට ඇය ඉතා ම කාරුණික ව කියයි. "කන්න පුතාලා.." අපි තාත්තාගේ මුහුණ බලන්නෙමු. ඔහු ද ගත් බිස්කට්ටුව සපයි. තාත්තා බිස්කට් එක පහන "සරස්" සද්දය ද මට ඇසෙයි. අයියා ද මාද පාලිත ද බිස්කට්ටුව රස බලන්නට පටන් ගත්තෙමු...
රස නහර පිනා යන අමුතු ම මිහිරි රසයෙකි. මීට පෙර බිස්කට් කා ඇත ද, මින් පෙර මා කිසිදු දිනෙක එවන් රසයක් අත් විඳ නැත. එය එතරම් ම රස ය. ඒතරම් මිහිරි බිස්කට්ටුව ඒ තරම් ඉක්මණට අහවර වීම ගැන මසිත දුකක් මෝදු වෙයි. ඒ බව දැනී දෝ අර කාන්තාව යළිත් වරක් ට්‍රේ එක රැගෙන තාත්තා ළඟට යන්නී ය. තාත්තා එපා කියයි. ඊ ළඟට ඈ එන්නේ පාලිත ළඟට ය. ඔහු කිසිදු වගක් නැති ව තව බිස්කට්ටුවක් ගනියි. ඊ ළඟට ඉන්නේ අයියා ය. ඔහුද එකක් ගනියි. මා ළඟට එන්නට කළින් බිස්කට් ඉවරවේයැයි මා සිත මහත් සේ විස්සෝප වෙයි. නමුත් ඒ කරුණාබර කාන්තාව මා ඉදිරියේ නැමුණු විට කාඩ්බෝඩ් පෙට්ටිය තුළ ඇති සියල්ල මට හොඳහැටි දර්ශනය වෙයි. සුදු පැහැ කාඩ් බෝඩ් පෙට්ටියේ ඇතුළත අළු පාට ය. ඒ තුළ කෙළවරක් ඇලවූ සුදු පාට ඝණ බෑගයකි. ඒ තුළ තවත් මැදට රැළි ගැසූ කඩදාසියෙන් සැදි තීරු කිහිපයකි. ඒ අතරේ බිස්කට් ඉතා සීරුවෙන් අතුරා තිබෙයි. මම ඉන් තව එකක් ගනිමි.
ඒ අමා රසය ඉවර වූයේ පළමු එකටත් වඩා ඉක්මණිනි. දැන් මා අසරණ ය. තව තවත් රස බලන්නට සිතුණ ද අර කාන්තාව ද පෙනෙන්නට නැත. මම වටපිට බලමි. අර කාන්තාව යළි දොර රෙද්ද දෙබෑ කරමින් මතු වෙයි. ඈ අත එවර ඇත්තේ ඔරෙන්ජ් බාර්ලි බෝතලයක් සහිත ට්‍රේ එක ය. තාත්තා අත තවම බිස්කට් කොටසක් තිබෙයි. අප දෙවන වටය ද අවසන් කොට අහවර ය. බීම බෝතලය ද, වීදුරු කිහිපය ද ටීපෝව මත තැබූ ඇය යළිත් ගෙට ගොස් නැවත බිස්කට් පැකට්ටුව ද සමග පැමිණියා ය. මගේ හිසේ මලක් පිපුණි. ඈ යළිත් මුලින් ම ගියේ තාත්තා ළඟට ය. තාත්තා "අනේ මේ ඇති බොහොම ස්තූතියි" කීවේ ය. ඊ ළඟට ඈ හැරුනේ අප දෙසට ය. "අනේ ඔය ඇති ළමයින්ට.." තාත්තා කීවේ ය. නමුත් එය අපට ඇසුනේ නැත. පිළිවෙලින් පාලිත ද, අයියා ද, මාද යළි බිස්කට් එක බැගින් ගතිමු. අප බිස්කට් කන දෙස ඈ බලා සිටියේ හිස ද ඇල කරගෙන ය. දැන් ගෙදර කිසිවකු කතා නැත. තාත්තා ද අර වැඩිහිටියා ද සිනහ මුසු මුහුණින් අප දෙස බලා සිටියි.
"පව් දෙයියනේ.. අම්ම නැති කිරි සප්පයෝ.." කියමින් ඇය යළිත් අප වටා රවුමක් ගියා ය. අපි බිස්කට් ගතිමු. තාත්තා කිසිවක් ම කීවේ නැත. නමුත් අර කාන්තාව ගෙට ගොස් කඩදාසියක ඔතා කිසිවක් ගෙනැවිත් අයියා අත තැබුවේ ය. ඒ අර බිස්කට් පෙට්ටියේ ඉතිරි ටික ය. ඉන් පසු අපට බීම ලැබුණි. අපි ඒවා ද බිව්වෙමු. එහි අපට එතරම් අරුමයක් නොවූයේ සෑම මල ගෙදරකින් ම, නෑ ගෙදරකින් ම අපට ඒවා ලැබී ඇති නිසා ය.
කතා බහ අවසන් කොට තාත්තා යන්නට නැගිට්ටේ ය. අපිදු ඔහු සමග එළියට ආවෙමු. අප බයිසිකළයට නංවා ගත් තාත්තා කිසිවක් ම නොකියා නිහඬව ම මඳ දුරක් පැදගෙන ආවේ ය. මට එය මහා කල්පයක් සේ දැනුනි. එසේ පැමිණි තාත්තා පාර අද්දර බයිසිකලය නැවැත්තුවේ ය.
"ඉල්ලුවනං මං ඕන තරං බිස්කට් අරං දෙනවනේ බොලල්ලා..." තාත්තා කීවේ තරහින් නොව මහා කඩා වැටුණු හඬකින් බව මට දැණුනි. වෙනදා මෙන් තාත්තා හුස්ම ගන්නා හඬ ද මට ඇසුනේ නැත. එතැන් පටන් ගෙදරට එන තෙක් ම අප කිසිවක් කීවේ ද නැත. කතා කරන්නට දෙයක් තිබුනේ ද නැත.

Maliban Lemon Puff
මැලිබන් ලෙමන් පෆ්.
අදටත් මැලිබන් ලෙමන් පෆ් බිස්කට් දුටු විට, අතීතයේ විඳි දුක් කන්දරාවක් අතිශය මිහිරි ලෙස මගේ හදවත කීරි ගසමින් මතු ව, සැණෙකින් අතුරුදහන් වෙයි. ඒ රස මගේ ආත්මය තුළට ම කිඳා බැස ඇත්තේ ය. මා මියගොස් වසර හය හත්සීයක් ගෙවී ගිය පසු ද, අහම්බයකින් හෝ ඇට කටුවක් හමු ව, මේ කාගේදැයි සොයන්නට ඩීඑන්ඒ පරීක්ෂණයක් කළොත් මේ ඇටකටුව අයිති පුද්ගලයා මැලිබන් ලෙමන් පෆ් බිස්කට්ටුවට මේ තරම් ආසා කළේදැයි එහි සටහන් ව තිබෙනු ඇති..!