Sunday, April 11, 2010

08 ලොරි බාගෙකින් අම්පාරට...

එක්තරා දවසක තාත්තා අයියා ද, මා ද, පාලිත ද සමග ගමනක් යාමට ලක ලැහැස්ති කර ගත්තේ ය. ඉතා කුඩා නිසා තාත්තා පාලිත ව වඩා ගෙන ගිය අතර, අයියා ද මා ද ගියේ පා ගමනිනි.. ක්වාටස්වල සිට උහන මහා විද්‍යාලය පසු කර අප මං සංධියකට පැමිණුනෙමු. තරමක් කළබලකාරී එදා පොළ දවසක් බව මට යාන්තමට මතක ය. හංදියේ මිනිසුන් ගොඩක් සිටි අතර, එය මට අමුතු දැක්මක් විය. පාරේ අයිනට වන්නට ලොරි බාගයක් නවතා තිබුනේ ය. එහි පිටුපස ඒ වන විටත් තුන් හතර දෙනෙකු සිටි අතර, තාත්තා අප ව ඔසවා එහි පිටු පසින් තැබුවේ ය. මේ ලොරි බාගයක් වුව ද එය බස් රථයක් බවට පරිවර්තනය කරන ලද්දකි. පිටුපස ලොකු පෙට්ටියට ලෑලි පටි ගසා ආවරණය කර තිබුණු අතර, මුහුණට මුහුණ සිටිනා සේ තැනූ දිග බංකු දෙකක් ද එහි විය. අපි රටක් රාජ්ජයක් උරුම වූවන් ලෙසින් මේ බංකුවක් මත විරාජමාන වූවෙමු. තරමක් වේලා ගත වන විට මේ ලොරිය සෙනගින් පිරී යන්නට විය. එවිට තාත්තා ද පාලිත ව ඔඩොක්කුවේ තබා ගෙන අප අසළින් වාඩි විය.

දැන් තත්ත්වය අතිශය භයංකාර ය. මුලු ලොරිය පුරා ම එල්ලීගත් මිනිස්සු ය. අපි තරමක් පැත්තට හැරී ලී පටි අල්ලාගෙන සිටියෙමු. ටිකකින් ලොරිය සැර දමනු ද, ඉන් පසු මහා කළු දුමාරයකින් අප ව වැසෙනු ද මට මතක ය. ඉන් පසු ගැස්සි ගැස්සී ලොරිය දුම් වලාව පසු කරමින් ඉදිරියට ඈදෙන්නට විය. මම වට පිට බැලීමි. එහි සිටින සියලු ගැහැණු මිනිසුන් සියල්ලන්ගේ ම මුහුණු දෙස විමැසිල්ලෙන් බැලීමි. කිසිවකුදු මට හඳුනා ගන්නට බැරි ය. උන්ට ද මා ගැන වගේ වගක් නැත. ඉන් පසු අප පසු කර වේගයෙන් ආ පස්සට ඈදී යන දැවැන්ත ගස් දෙස බලා සිටියෙමි.

ලොරිය ගමනේ තුන් හතර පළෙක ම නැවතුණු අතර, ඒ හැම විටෙක ම දෙතුන් දෙනෙකු බැස ගිය බවත්, ඊටත් වඩා දෙනෙක් එහි එල්ලුණු බවත් මට පෙනෙයි. ඒ එන හැම අත තිබූ වට්ටි, පෙට්ටි, මලු ආදිය ලොරියේ වහළය මතට වීසි කරන්නට කෙනෙක් සිටියේ ය. කට පුරා බුලත් විටක් ඒදාගෙන සිටි ඔහුගේ සරම ඈඳ තිබුනේ ද දනිස්සෙන් පොඩ්ඩක් පහළට වන්නට ය. මේස් බැණියමට යටින් සරමටත් වඩා ලොකු ගැටයක් ගසා තිබුණු අතර, ඔහු හැම විට ම ගියේ ලොරියෙන් එළියේ ය. ​ලොරිය පිටත් වන තෙක් බිමට බැස මිනිසුන් සමග කතා කරන ඔහු ලොරිය පිටත් වූ පසු, අඩි දෙක තුනක් දිව විත් එහි එල්ලෙයි. එසේ එල්ලී, කට මත ඈඟිලි දෙකක් තබා බුලත් කෙළ පහරක් පාරට විදියි. පටු පාරේ වළ ගොඩැලි මතින් දූවිලි අවුස්සාගෙන ලොරිය නැළවෙමින්, පැද්දෙමින්, මඳ ගමණින් ඉදිරියට ඈදෙයි. මෙසේ තරමක වේලාවකට පසු අප සිටි උහන ගම්මානයට වඩා විශාල ගොඩනැගිලි ද, සෙනග ද සිටි ස්ථානයකට ලොරිය පැමිණියේ ය. තවත් අප ලොරිය මෙන් ම වූ ලොරි බාග විශාල ප්‍රමාණයක් එහි තිබූ අතර, එකක ඉදිරියෙන් ගොනාගොල්ල යනුවෙන් ලියූ පුවරුවක් තිබුණු වග මට හොඳට මතක ය.

අම්පාර නගරයයි. මීට කළින් අප ලොකු තාත්තලාගේ ගෙදර යන්නට ද අම්පාර නගරයට පැමිණ ඈති නමුත් අද මට අම්පාර අමුතු තැනක් ලෙස පෙනෙයි..!!

නිහඬ වූලොරියෙන් අප බිමට බස්සවා ගත්තේ තාත්තා ය. ඉන් පසු ඔහු අප ද සමග පාර පැන, ලොකු ගොඩනැගිල්ලක් දෙසට ගමන් කළෙමු. එය අති විශාල ගොඩනැගිල්ලකි. එහි දැවැන්ත ගේට්ටුවෙන් ඈතුලු වූ පසු විශාල පිරිසක් පොලිමේ සිටිනු දුටුවෙමි. තාත්තා ද අප සමග ඒ පොලිමට එකතු විය. අප කුතුහලයෙන් වට පිට බලමින් සිටිනා තර, වඩාගෙන සිටින පාලිත චුරු චුරු ගාමින් සිටියේ ය. ටික වේලාවකට පසු පෝලිම ඉදිරියට ඈදෙන්නට වූ අතර, තාත්තා පුංචි කවුළුවක් තුළ සිටි අයෙකුට මොකක්දෝ කී කීවිට, ඔහු තාත්තාට මොනවාදෝ දුන්නේ ය. ඒ දුන් දේ ද රැගෙන තව අඩියක් පැමිණි තාත්තා, දුඹුරු පාට දොර රෙද්දක් දැමූ විසල් දොර ළඟ සිටි කෙනෙකුට ඒ සියල්ල දුන්නේ ය. ඉන් පසු තාත්තා ඒ රෙද්ද මෑත් කර අප සමග ඈතුළට පැමිණියේ ය. මම මහත් සේ විස්මයට පත් වීමි. කුතුහලයෙන් යුක්ත ව වට පිට බැලීමි. වහළය මත ලොකු පංකා පේලියක් කැරනකමින් තිබුණ අතර, පුටු විශාල ප්‍රමාණයක් පේළි පේළි මෙහි තබා තිබුණේ ය. මම ජීවිතයේ ප්‍රථම වරට විදුලි පංකාවක් දැක්කේ එදා ය. එය ද එකක් නොව පේළියකි..!! මේ අතරේ මොකක්දෝ ගීතයක් ද වාදනය ​වෙමින් තිබුණු අතර, තවත් ගැහැණු මිනිස්සු විශාල ප්‍රමාණයක් උස් හඬින් මොනවාදෝ කියමින් ඒ අසුන් මත වාඩි වී සිටියෝ ය. තාත්තා ද අප සමග පැමිණ හිස් ආසන පේලියක ආරම්භයෙන් ම වාඩි ගත්තේ ය. අපි දු වාඩි වීමු. එසේ වාඩි වී ඉදිරිය බැලූ විට ඉදිරියෙන් දැවැන්ත තිරයක් මට පෙණින. මහත් සේ විශ්මයෙන් ඈළලී සිටි මම වට පිට බැලුවේ ද යාන්ත්‍රික රොබෝවෙකු මෙනැයි මට දැන් සිතේ..

ස්වල්ප වේලාවකින් දැවැන්ත ශාලාවේ විදුලිය බල්බ එකින් එක නිවී ගියේ ය. දැන් කළුවර ය. ළඟ පාත ඉන්නා අයියා ද, ඊට එහායින් සිටින තාත්තා ද මට පෙනෙන්නේ නැත. මම බිය වීමි. නමුත් කරන්නේ කුමක්දැයි නිනව්වක් නැති ව තක්බීර් වී සිටියෙමි. මුලු ශාලාව ම මීයට පිම්බාක් මෙන් නිහඬ විය. එසැණින් ඉදිරියෙන් වූ තිරය දෙපැත්තට ඈරෙන්නට විය. මම පුටුවේ පිටු පසට හේත්තු වුනෙමි. තව මොහොතකින් ඈරුණු තිරය යට තිබූ සුදු පාට බිත්තිය මත ජාතික කොඩිය ළෙල දෙන්නට වූ අතර, මහ හඬින් එය වාදනය වන්නට ද විය. ශාලාවේ සිටියවුන් මෙන් ම තාත්තා ද පාලිතවත් වඩාගෙන නැගී සිටියෝ ය.මාත් අයියාත් පුටුවෙන් බිමට පැන නැගී සිටියෙමු..

ජාතික ගීය වාදනයෙන් පසු මුහුණේ පත රැවුලක් තිබූ සද්දන්ත මිනිසෙක් "හච හච" ගා මොනවාදෝ කියෙව්වේ ය. (ඒ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක සිරිමතාණන් බව මා දැන ගත්තේ බොහෝ කළෙකට පසු ව ය.) ඉන්පසු ශාලාව පුරා යළි කඩි ගුලක් ඈවිස්සුණාක් මෙන් සද්ද රැල්ලක් නැගුණු අතර, පුටු මත එකිනෙකා වාඩි වන සද්ද ද ඊට ම එකතු විය. අපි දු වාඩි වීමු.

දැවැන්ත තිරය මත මොනවාදෝ රූප විසාල් ප්‍රමාණයක් දර්ශනය විය. ඒවා හරි හමන් විදියට මට මතක නැත්තේ ඒ වන විට මගේ සිහිය විකල් වන තරමට ම මම අන්ද මන්ද ව සිටි බැවිනි. ටික වේලාවකින් තිරය මත කළු සහ සුදු පාට විසල් මිනිසුන් කතා කරනු ද, සිනාසෙනු ද මම දිටිමි. ඒ අතර මඳ වේලාවකින් තිරය මත අකුරු පේළි සටහන් විය. ඒ අකුරු පේළි අතරින් සිරි ගුණසිංහ යන නම ද, "සත්සමුදුර" යන විශාල අකුරු පදාසය ද මට ගලේ කෙටුවාක් මෙන් මතක ය.

ඒ අප ජීවිතයේ ප්‍රථම වරට චිත්‍රපටයක් බැලූ දා ය. චිත්‍රපටය සත්සමුදුර විය. අප එය නැරඹුවේ අම්පාරේ රීගල් සිනමා ශාලාවේ දී ය...!!!

Share/Bookmark

Tuesday, March 30, 2010

07 නාන කාමරය


පාසැල් වැඩ කටයුතු නිමවා අප ගුරු නිවාසය හෙවත් ​ක්වාටස් වෙත පැමිණියේ පා ගමණිනි. ඉඳ හිට ලොකු තාත්තාගේ කළුපාට මයිනර් කාරය අපේ ගෙදර තිබෙනු මට මතක ය. ලොකු තාත්තාට කාරයක් තිබුණාට හොඳට එලවන්නට බැරි ය.. තාත්තාට කාරයක් නොතිබුණාට හොඳට වාහන එලවන්නට හැකි ය.. මේ මයිනර් කාරය අපේ ගෙදර තිබෙන විට අපේ හැම ගමනක් ම සිදු වන්නේ කාරයෙනි.

කොටින් ම නළ ජල පහසුකම් තිබුණත් ක්වාටස්වල පිටු පස ළිඳ ළඟට අප මුහුණ සෝදන්නට යන්නේ ද කාරයෙනි..!! ළිඳ ළඟට ගිය පසු තාත්තා අපට දත් මදින්නට දත් කුඩු බෙදා දෙයි.. අල්ලක් තරම වූ ගුරු පාට පැකැට්ටුවේ රතු පාටින් "ගෝපාල් ගේ දත් මදින කුඩු" යන වගන්තිය එකළ ද අපට කියවන්නට හැකියාව තිබිණ. මේ පැකැට්ටුව තුළ වූ රෝස පාට කුඩ හරි ම රස ය. දත් මදිනවාට වඩා අප කළේ එය රස විඳීම ය. තාත්තා අපට දත් මදින ආකාරය කියා දෙයි. අහළ පහළ ගසකින් කුඩා කෝටුවක් කඩා ගෙන එහි කෙළවර හපා, තලා අපට බුරුසු තනා දෙයි. අප එයින් ද දත් මදින්නෙමු. අවසන කටට වතුර ගෙන සෝදා දත් අතරින් තද හුළං පාරක් අදින්නෙමු. එවිට කටට මාර සිසිලසක් දැනෙයි.. ඉන් පසු දත් කුඩු රහිත ඇඟිල්ල අපි තදින් දත් මත අතුල්ලන්නෙමු. එවිට පිරිසිදු වීදුරුවක් මත ඈතිල්ලුවාක් වැනි හඬක් මතු වෙයි. මේ හඬ අසන්නට අප ඉතා ම කැමති ය. එවිට අපට සිතෙන්නේ අප දත් ඉතා පිරිසිදු ය කියා යි.

ගුරු නිවාසයේ කෙළවරක විශාල නාන කාමරයක් තිබුනේ ය. එහි එක් කොටසක් වඩා උසට සාදා එහි වැසිකිළි පෝච්චිය (වළ වැසිකිළිය) සවි කර තිබිණි. වැසිකිළි පහසුකම් තිබුණ ද අප බොහෝ විට කක්කා දැම්මේ මිදුලේ ය. අප සරීරකෘත්‍යය අවසන් කර "කක්ක දාලා ඉවරාාායි.." යනුවෙන් තාලයකට මහ හඬින් කෑ ගසන්නෙමු. එවිට අම්මා හෝ ​තාත්තා හෝ අප ව බලා ගන්නට සිටි අත් උදව්කාරිය හෝ පැමිණ අප ව නාන කාමරය තුළට රැගෙන යයි. ඒ අල්ල පනල්ලේ බල්ලන් පැමිණ මිදුල සුද්ද පවිත්‍ර කරන්නේ අම්මාට හෝ තාත්තාට උදව්වට යැයි මම සිතමි.

අප බොහෝ විට නෑම සඳහා නාන කාමරයට යන්නේ අම්මා සමග ය. අම්මා ඈගේ දිග කොණ්ඩය ළිහා බිම දිගේ එළා ගෙන රෙදි සෝදයි. අපි කරාමය ඈරගෙන රිසි සේ වතුරේ නටන්නෙමු. අම්මා අපුලුලන රෙදි ගෙන අඹරා ඒවා පිළිවෙලට නාන කාමරයේ දොර හරහට තබා වේලල්ක් සාදන්නෙමු. ටික වේලාවකින් අපේ යටි පතුල් වැසෙන තරමට ජල කඳක් නාන කාමරය තුළ එක් රැස් වෙයි. ඉන් පසු අපි මේ වතුරේ වැතිර ඈති පදමි සෙල්ලම් කරන්නෙමු. අම්මාගේ දිග කොණ්ඩය නයෙකු සේ වතුරේ පා කරන්නෙමු. බඩ මැද නාලාවක් සවි කළ රබර් සත්තුන්ගේ බඩට වතුර පුරවා එකිනෙකාට විද ගන්නෙමු. මේ රබර් සතුන් අතර සිටි මාලුවා මට අදත් හොඳට මතක ය. අදත් මා අඳින මාලු අතර ඌ ද කොතැනකින් හෝ මතු වී මා සමග සිනාසෙයි.

ඉඳ හිට අප ගහ මරා ගන්නේ ද මේ වතුරේ සිට ය. අම්මා රෙදි ටික යළි සෝදන්නට එක්කාසු කළ විට අප සාදා ගත් වැව අපට අහිමි වෙයි. එවිට අපගේ යුද්දය ද නිමා වෙයි. ඉඳ හිට අප නාන කාමරයෙන් පිටතට හෙලුබැල්ලෙන් ම පැමිණ බිම පෙරලෙන්නෙමු. එවිට අම්මා පැමිණ අප බඩ මැද්දෙන් අත දමා ඔසවා , උකුලට හිර කරගෙන, තට්ටමට පහරක් ගසා, නැවත වතුර පයිප්පයට අල්ලා සෝදන්නී ය. අප එවිට කකුල් දෙක ගසමින් කෑ ගසන්නෙමු...

අදටත් නාන්නට හෝ ඈඟ සෝදන්නට නාන කාමරයට ගිය විට මට අම්මා අපව ඔසවා ගෙන ගොස් සේදූ අයුරු මතක් වෙයි. බඩ මැද්දෑවෙන් ඔසවා ගෙන තට්ටමට ගහන පහර සදා කල් මිහිරක් ව මගේ මතකය පුරා සැණෙන් විසිරී පැතිරී යයි. ඒ මිහිර යළි විඳින්නට අපට නොහැක්කේ අප අද දරු මල්ලන් සිටින මහ වුන් වුනාටත් වඩා අම්මා අප අතර නැතැයි යන සිතිවිල්ල දරුණුවට දැනෙන හෙයිනි.

දුව ද, පුතා ද පුංචි සන්දියේ මම උන් ව ඔසවාගෙන නාන කාමරයට ගොස් අම්මා කළා මෙන් ම තට්ටමට පහරක් ගසා සෝදා ඈත්තෙමි. නමුත් මට මතක ඈති මේ කතාන්දරය උන්ට මතක නැත. මන්ද උන් කවදාවත් වැලි දූලි ​ගොඩේ නොපෙරලුණු නිසා වෙන්නට පුලුවන.....!!!!

Share/Bookmark

Monday, March 22, 2010

06 පාසැල් ගමන


මේ කතාව ලියන්නේ 1966  වසරේ සිදු වූ සිදුවීමක් අළලා ය.

අපි පාසල් යන වයස සම්පූර්ණ නොකළ ද, අමමාත් තාත්තාත් සමග ම පුංචි සන්දියේ ම පාසල්
 ගියෙමු. එකළ බාලාංශ පන්ති හෝ මොන්ටිසෝරි තිබුණේ නැත. එමෙන් ම අපේ අම්මා හෝ තාත්තා හෝ ඩේ කෙයාර් සෙන්ටර් ගැන අහලාවත් තිබුනේ නැති වන්නට පුලුවන. ඒ නිසා අපි, එනම් අයියාත් මාත් අම්මා තාත්තා සමග ම පාසල් ගියෙමු. ඒ උහන මහා විද්‍යාලයයි.

අපට නිශ්චිත පන්තියක් නොතිබුණ ද අපි තිබෙන පන්තියක වාඩි වී අකුරු කළෙමු. විවේක කාලය සඳහා සීනුව වදිද්දී ම අම්මා පැමිණ අප ව එකතු කර ගන්නී ය. ඉන් පසු ඒ විවේක කාලයේ දී අපට පාන් පෙත්තක් දෙන්නී ය. ඒ පාන් පෙත්තේ රස මට දැනුදු දැනෙන සේ ය. එය එතරම් රස ය. මන්ද යත් එකළ පාන් ඒතරම් ම විරල අහරක් වූ බැවිනි.

මෙසේ දින වකවානු ගෙවෙන අතර තුර, අම්මලාගේ පාසැලට අලුත් ගුරුවරු දෙපලක් පැමිණියේ ය. ඉතා ම තරුණ, භද්‍ර යෞවනයන් වූ ඒ දෙදෙනාගෙන් එක් කෙනෙක් හරි උස මහත ය. ගැඹුරු, ළයාන්විත කටහඬක් ඔහුට තිබුණේ ය. අනෙක් කෙනා කළු ය. මිටි ය. මේ දෙදෙනාගෙන් කෙනෙකු වන උස මහත කෙනා පත් කර තිබුණේ අපේ අම්මාගේ සහායක ගුරුවරයා හැටියට ය.

පාසැල් විවේක කාලයේ අපි එක් පන්ති කාමරයකට එක් රැස් වූ අතර, මේ දෙදෙනා ද අප සිටි කාමරයේ ම සිටියේ ය. ඔවුන් පත්වීම ලැබ පැමිණි පළමු දා වූ එදින, ඉන් කෙනෙකු බිස්කට් පැකැට්ටුවක් ගෙනැවිත් තිබුණේ ය. තරමක් ලොකු, හරි හතරැස් ඒ බිස්කට් වර්ගය මගේ රස නහර පිනවූයේ ඊට පෙර කිසිදු දිනෙක එය රස විඳ නොතිබුණු නිසා ය. (ඒ බිස්කට් වර්ගය මැලිබන් ක්‍රීම් ක්‍රැකර් ලෙස හඳුනාගත්තේ බොහෝ කළෙකට පසු ව ය.)

අම්මාගේ ඈඟ දැවටෙමින් බිස්කට රස බැලූ අතර වාරයේ අර උස මහත තරුණයා..පුතා ඔයාට අකුරු ලියන්න පුලුවන්දැයි මගෙන් විමසීය. මම ඔව් කීවෙමි. එහෙනම් අකුරුක් ලියල පෙන්නන්න.. ඔහු කීවේ ය. මම වහා හුණු කූරක් රැගෙන කළු ලෑල්ල වෙත ගොස් අත ඔසවා..(උස මදි නිසා ය..) කළු ලෑල්ලේ "අ"යන්න ලීවෙමි. නමුත් නිවැරදි ව අයන්නේ හැඩ තල පිහිටා තිබුණ ද එය මා ලියුවේ සහමුලින් ම අනිත් පැත්තට ය...!!!. අම්මා ද, අර තරුණ ගුරු දෙපළ ද.. ඔවුන් සමග මමද ඈති පමණ සිනා සුනෙමු..!!

ඔබ දන්නවාද අර උස මහත ගුරු තුමා ගැන.. ඔහු තමයි සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා...
(මේ සටහන ලියන කළ වන විට එතුමා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික අංශයේ කුලපතිවරයා ය) එතකොට අර කොට හාදයා.. ඔහු තමයි චතුර මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතා.. මේ ඊයේ පෙරේදා දිනෙකත් හමු වූ විට ඔහු අ යන්න ගැන කියා සිනා සුනේ ය. ඒ සිනාසෙන විට ඔහු තනතුරෙන් අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ මාධ්‍ය ලේකම් තනතුර හොබවමින් සිටියේ ය. හෙට අනිද්දා වන විට එය වෙනස් වන්නට පුලුවන. නමුත් ඔහු ගේ විශිෂ්ට නිවේදන හැකියාව නිසි ලෙසකින්වත් වෙනස් නොවනු අෑත...

Share/Bookmark

Monday, February 8, 2010

05 - කුකුළු කූඩුව


මට වයස අවුරුදු තුන හතරේ දී සිදු වූ සිද්ධීන් පවා මෙතරම් හොඳින් මතක තිබෙන්නේඇයි දැයි කියන්නට මම නොදනිමි. ඒවා සිදු වූ දින වකවානු අමතක වුව ද, සිදුවූ සියල්ල සිනමා පටයක් මෙන් යළි මතක් කර ගන්නට මට පුලුවන. හොඳ සංස්කාරකවරයකු සිටින්නේනම් මැනැවයි සිතෙන්නේ ඒවා පෙළ ගැසෙන්නේ අතරින් පතර නිසා ය.

උහන අප සිටි ක්වාටස්වල පිටුපස්සේ කුකුළු කූඩුවක් ද තිබුනේ ය. එහි කිකිළියන් ද කුකුළන් ද ගණනින් කියන්නට නොදන්නේ වුව ද, යම් ප්‍රමාණයක් සිටි බව මතක ය. ඒ අතරේ "චීක් චීක්" ගාමින් බෝල ගෙඩි මෙන් පෙරළෙන කහ පාට කුකුළු පැටවුන් රොත්තක් ද සිටියෝය. කුකුළු කූඩුව තිබුණේ අපේ ගෙයි පිළිකන්නේ පඩිපෙල පාමුල ය. නමුත් ගෙයි මට්ටමේ ය. බිම සිට කූඩුව දක්වා, දිගු පරාලයක හරස් පොලු කෑලි ගසා ඉනිමගක් වැනි උපකරණයක් තනා හේත්තු කර තිබුනේ ය. දවල් තිස්සේ මිදුලේ කෙකර ගාමින් එකල මෙකල වෙන කුකුළු රෑණ හැන්දෑවත් ම මේ ඉනිමග දිගේ කූඩුවට නැග ගනිති. බොහෝ දිනවල අප උන්ගේ පස්සේ එළවා ගොස් කූඩුවට ගාල් කළෙමු. එය අපට මහත් විනෝදයක් ගෙන දෙන්නක් විය.

මේ කුකුළු රෑණේ රජා සේ සිටි දැවැන්ත කුකුළා පොර කුකුළෙකු බව අප පසු කාලයක දැන හඳුනා ගත්තේ කුකුළකු අඳින අයුරු ගැන තාත්තා කියා දුන් පාඩමක් අනුසාරයෙනි. ඒ පාඩම කොතෙක් රසවත්දැයි කියනවානම් අදත් මට අපූරුවට කුකුළු රූප අඳින්නට පුලුවන. නිකං කුකුළාගේ කකුළේ ඈඟිලි සීමාවට උඩින් තවත් ඈඟිල්ලක් වැනි පොර කටුවක් නැත. නමුත් අපේ කුකුල් රජාගේ ලොකු පොර කටුවක් තිබුණා අපට මතක ය. ඌ සිය වාසස්ථානය ලෙස තෝරාගෙන තිබුණේ පිළිකන්නේ තිබුණු දැවැන්ත සියඹලා ගසේ පහත අත්තකි.

වරක් කොහෙදෝ අයාලේ යන බල්ලෙක් අප වත්තට පැමිණි මොහොතක අපේ මේ කුකුළු රජා ඒ බල්ලාට පහර දුන් අයුරු මට තාම මතක ය. බල්ලා දුටු සැණින් පැටවුන් පිරිවරා ගත් කිකිළියන් රංචුව තොර තෝංචියක් නැති ව හඬ තලන්නට පටන් ගත්තෝ ය. එසැණින් එතැනට ආ අප කුකුළු රජා සිය ඇඟ පිහාටු පුම්බා, බෙල්ල වකයක් සේ නවා, හිස බිමට හරවා අමුතු ගොරහැඩි හඬකින් ශබ්දයක් පිට කළේ ය. ඉන් පසු අත්තටු යුගළය වරක් දෙවරක් හයියෙන් ගැසුවේ ය. ඊට පසු පියවර දෙක තුනක් පසු පසට ගොස්, තදින් අත්තටු ගසමින් පොළොවෙන් ඉහළට නැග, ඊ ගසක් පහත් වන වේගයෙන් බල්ලා දෙසට පහත්වන අතර ම, සිය පොර කටුව සහිත පාදයක් ඔසවා වැරෙන් පසුපසට පහරක් ගැසුවේ ය. ඒ පහර වැදුනේ බලු නයිදේගේ අසට තරමක් ඉහළින් ඔලුවට ය. බල්ලා මර හඪ තළමින් බිම දිගේ වට දෙක තුනක් පෙරලුනේ ය. උගේ හිසෙන් වැගිරැණු ලේ පහර බිම දිගේ රටාවක් ඈඳුනු අතර, මඳක් කෙඳිරි ගාමින් සිටි බල්ලා නැගිට, "බැහූ.. බැහූ.." ගාමින් මහ හඬින් හඬමින්, විදුලි වේගයෙන් නොපෙනී ගියේ ය. අපේ ජයග්‍රාහී කුකුළු නාම්බා යලිත් වරක් උජාරුවෙන් හඬලන විට, මේ අලකලංචිය කුමක්දැයි බලන්නට අම්මා ගෙතුළ සිට දුව ආවා ය.

මේ අවස්ථාවේ අප තුන්දෙනා, අයියා මම සහ පාලිත මල්ලී සිටියේ කිකිළියන් සහ පැටවුන් මැදි කර ගෙන උන්ට කෑම දෙමිණි. පඩි පෙළ දිගේ ඉක්මන් ගමණින් දුව ගෙන ආ අම්මා අප තුන් දෙනාව ම එකවර තුරුල් කර ගෙන පඩි පෙළ දෙසට ඈද ගෙන ගියා මට මතක ය.

සෑම දා ම උදේ පාන්දර අපට බිත්තර සපයන්නට අප කිකිළි රෑණ සැදි පැහැදී සිටියෝ ය. උදෙන් ම නැගිට, ඉස්කෝලේ යන්නට පෙර, අම්මා අප එක්කෙනෙකු ද වඩාගෙන කුකුළු කූඩුවේ බිම අතගා බිත්තර ඇහින්දා ය. අප ද ඒ අතරේ අත දමා බිම කාල් ගාන්නෙමු. සමහර දවස්වල අප අතට අසුවන බිත්තර එබෙන සුලු ය. ඒ දැමු ගමන් බිත්තරවල කටුව ඝණ වන්නටත් පෙර අවස්ථාව ය.

සමහර දිනවල අප කුකුලු කූඩුවට අත දමා අහුලා ගන්නා බිත්තර බිඳ අමුවෙන් ම ගිල දමන්නෙමු. බිත්තරය කටට වඩා ලොකු නිසා මුහුණ පුරා සාරු වැගිරෙන බැවින් මේ පෙරේතකම හැමදාම අම්මාට අසු වෙයි. එවිට ඈ අපට කළ තරවටුව කුමක්දැයි මට මතක නැත. නමුත් ඈ අප දෙස බලන බැල්ම නම් මට අදත් මතක ය. ලොකු නංගී අදත් අප දෙස බලන්නේ ද ඒ ආකාරයෙන් ම නිසා ය..

Share/Bookmark

Friday, January 29, 2010

04 - සංක්‍රමණය

අප බද්දේගම හැරපියා අම්පාර බලා ආවේ 1963 ය. ඒ තාත්තාට හා අම්මාට ගල්ඹය සංවර්ධන වැඩ සටහන යටතේ මාරුවීම් ලැබුණු නිසාවෙනි. තාත්තාට කලින් අම්පාරේ ආවේ ලොකු තාත්තා ය. ඒ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ පත්වීමක් ලබමිනි. තාත්තා අම්පාරේ උහන මහ විද්‍යාලයේ විදුහල්පති ලෙසින් ද, අම්මා පුහුණු ඉංග්‍රීසි ගුරුවරියක ලෙසින් ද පැමිණියේ ය. උහන නගරයට ආසන්න ව තාත්තලාට ගුරු නිවාසයක් ද ලැබී තිබිණ. අප ඉතා කුඩා වුව ද මට ඒ නිවස වට පිටාව හොඳින් මතක ය. නමුත් තිබුණු තැන නම් මතක නැත. අප නිවසට අල්ලපු ගෙදර සිටියේ ගිගී අන්කල් නමින් අප හැඳින්වූ සිවිල් සේවකයෙකි. ඔහුගේ කම්මුල් දෙපස රැවුල් පදාස ය තනි සුදු පාට වූ අතර, හේ මිටි , මහත සුන්දර මනුස්සයකු විය. තනිකඩයකු වූ ඔහු සතු ව තුවක්කුවක් ද තිබුණි. ඒ නිසා ම අපට හැමදා ම පාහේ දඩ මස් ලැබුණේ ය. උහන යනු මහ වනයකින් සමන්විත ව තිබී, යෝධ සංවර්ධන ව්‍යාපෘති නිසා ම අර්ධ නාගරීකරණය වෙමින් පැවතුන ද, දඩ මස් සඳහා සතුන් සොයන්නට කිසිදු වෙහෙසක් දැරිය යුතු නොවී ය.

එක් දවසක් ගිගී අංකල් අප ද සමග දඩයමේ ගියේ ය. ඒ පොඩි වැව් පිටියකට ය. විවිධ කුරුලු රෑන් මුළු අහස් තලය ම වසා ගෙන සිටියේ ය. ඒ අතර දස දහස් ගණනින් වූ වී කුරුල්ලන් රෑන් ද එක පොදියට අහසේ සරමින් සිටියේ ය. ගිගී අංකල් සිය තුවක්කුවට පතොරමක් දමා එහි බටයට වී අහුරක් දමා පුරවා, නිකම් ම අහස දෙසට එල්ල කරගෙන සිටියේ ය. ඒ මොහොතේ අහසේ සරමින් සිටියේ අති විශාල වී කුරුළු රංචුවකි. මොහොතකින් කණ් අඩි පුපුරවන තරම් හඬකින් තුවක්කුව පත්තු විය. එ සැණින් වැස්සක් වැටෙන්නා සේ වී කුරුල්ලන් බුරුතු පිටින් මැරී බිම පතිත විය. ඈඹිට්ල්ලන් පොඩිවුන් වූ අයියා ද මමද වී කුරුලු අස්වැන්න තරගයට එක්කාසු කළෙමු. එදා අප රාත්‍රී ආහාරය බදින ලද වී කුරුල්ලන්ගෙන් සපිරුණේ ය.

එක් දවසක රාත්‍රයේ පාර වැරදුණු දැවැන්ත නාඹර මුවෙක් අප නිවෙසේ කඩුල්ලෙන් පැන අප වත්තට ආවේ ය. එදා ගිගී අංකල්ට හරි වැඩ ය. ඔහු දිවවිත් අප වත්තේ කඩුල්ල ද, ඔහුගේ කඩුල්ල ද වසා, අප නිවසේ දොරවල් ද වසා දැම්මේ ය. අයියාත් මමත් ජනෙල් කූරුවල එල්ලීගෙන එළියේ කෙරෙන යුද්දය නැරඹීමු. භයෙන් බිරාන්ත ව ඈස් දෙක විශාල කරගෙන මුවා මහා ධාවන තරගයක යෙදුනේ ය. ඒ පස්සෙන් තුවක්කුවත් අමෝරාගෙන ගිගී අංකල් ද මුවා හඹාගෙන දිව ගියේ ය. මෙසේ ටිකක් දුර දුවන මුවා ආපසු හැරී සිය දැවැන්ත අං තට්ටුව පහතට නමා ගෙන නහයෙන් පිඹියි. එවිට ආපසු දුවන්නේ ගිගී අංකල් ය. නිමේෂයකින් යළි මුවා දුවන්නට පටන් ගනී. දැන් යළි ගිගී අංකල් මුවා පස්සෙන් ධාවන තරගයක යෙදෙයි. තාත්තා ද සරම කැසපට ගසා ගෙන පොඩි තල්ලුවක් දුනා සේ මට මතක ය. වරෙක මුවා ගිගී අංකල්ට ද, අනෙක් පසින් තාත්තාට ද කොටු විය. මෙහොතක් වෙලා තදින් හුස්ම ගත් දැවැන්ත මුවා විදුලි සැරයක් මෙන් අඩි හයක් පමණ උස වැටෙන් පැන ඉදිරි වන පෙත තුළ නොපෙනී ගියේ ය. ඉන් පසු තාත්තා ද, ගිගී අංකල් ද හති දමමින් හොඳ හැටි සිනා සෙණු අප බලා සිටියේ ජනෙල් කූරු අස්සෙන් ම ය.
Share/Bookmark

Monday, January 25, 2010

03 - අපේ ඇත්තන්නේ විස්තර


මා අපේ ඈත්තන්ය කීවේ එක බඩවැල කඩාගෙන ආ මගේ සහෝදර සහෝදරියන්ට ය. මියගිය රෝහණ අයියා හැරුණුකොට අපේ සමූහයා සාමාජිකයන් හයකින් සමන්විත ය.

මගේ වැඩිමහල් සහෝදරයා වන අතුල චන්ද්‍රගුප්ත තේනුවර අපේ පවුලේ පමණක් නොව සනුහරේ ම සිටිනා විශිෂ්ටතම චිත්‍ර ශිල්පියා වෙයි. මා දන්නා පමණින් ඔහු ශ්‍රී ලංකාවේ චිත්‍ර විෂයයෙහි සිටින ඉහළ ම උපාධිධරයා ද වන්නේ ය. ඔහු අඳිනා එක් ඉරක් අඳින්නට මට තව අවුරුදු විසිපහක්වත් නොකඩවා සතත අභ්‍යාසයේ යෙදිය යුතුයැයි මම තරයේ විශ්වාස කරමි. අයියා ද මා මෙන් ම තර්ස්ටන් මහා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලද අතර, ඉනික්බිති කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ තිබුණු හේවුඩ් කලායතනය විශ්ව විද්‍යාලයක් බවට පරිවර්තනය වූ පසු එහි පළමු ශීෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් විය. අයියා සිය ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශණය පැවැත්වූයේ කොළඹ ගෝල්ෆේස් හි තිබුණු සමූද්‍රා හෝටල ශාලාවේ ය. ඒ 1976 වසර විය යුතු ය. ලාංකික විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කොට, උපාධිය ලැබ, ඉනික්බිති එවකට සෝවියට් රුසියාවෙන් පිරිනමන ශිෂ්‍යත්වයක් ලැබ, අයියා වැඩි දුර අධ්‍යාපනය ලබන්නට රුසියාවට ගියේ ය. ඔහු වසර දහ පහලොවක් ම වාසය කළේ රුසියාවේ ය. අදටත් ඔහු රුසියන් පුරවැසි භාවය ලද්දෙකි. රුසියාවට අමතර ව එංගලන්තය, ජපානය ඈතුළු රටවල් ගණනාවක චිත්‍ර ප්‍රදර්ශන පැවැත් වූ අයියා මෑත භාගයේ දී බැරල්වාදය Barrelism නම් ඔහුගේ ම මතවාදයක සිටිමින්, ඊට සමගාමී ව චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක් ම පැවැත්වීය. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අංශ ප්‍රධානියකුද වන ඔහු, එහි ජ්‍යේෂ්ට කථිකාචාරයවරයකු ද වෙයි. ඊටත් අමතර ව අපේ අයියා ​මොරටුව ඇතුලු විශ්ව විද්‍යාල ගණනාවක ම බාහිර කථිකාචාර්යවර​යකු ද වන අතර, විභවි ලලිත කලා ඇකඩමියේ අධ්‍යක්ෂවරයා ද වෙයි.
මට වඩා අවුරුද්දකින් පමණ වැඩිමහල් වුව ද, අපේ පවුලේ සාමුහික වගකීම්හි දී අයියාගේ තීරණය අපි තර්කයකින් තොර ව ඉස් මුදුනින් පිළිගන්නේ ඇයි දැයි කියන්නට අප නොදන්නේ වුව ද, තාත්තා පවා අයියාගේ තීරණයනට එරෙහි ව තර්ක කරන්නට යන්නේ නැත. එසේ වුව ද අපි ඉතා ම ස්වාධීන ව අපගේ අඹුවන් තෝරා ගත් අතර, අයියා ද විවාහ වූයේ අපට නොකියා ය. මගේත් ලොකු නංගීගේත් විවාහයන් හැර අනෙකුත් සියලු ම දෙනා විවාහ වූ වග අනෙකුත් සාමාජිකයන් දැන ගත්තේ බොහෝ විට පමා වෙලා ය. ඒ අප සැවොම අතිශය ස්වාධීන වූ නිසාවෙනි. කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය නම් රාජ්‍යනොවන සංවිධානයේ සම අධ්‍යක්ෂිකාවක වන කුමුදුනී සැමුවෙල් හෙවත් අපේ කුමී සමග විවාහ වී සිටින අයියාගේ එක ම පුත්‍රයා වන්නේ ක්‍රිස්ටෝපර් තයාලන් චාරුදත්ත තේනුවර ය.

දැන් අප පවුලේ දෙවැන්නා වන්නේ උපුල් ඉන්ද්‍රනාථ තේනුවර වන මම ය. තර්ස්ටන් විද්‍යාලයයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ම 1979 වසරේ ඔක්තෝබර් 04 දින මම ගුරුවරයකු ලෙස කොළඹ කොටහේනේ ශාන්ත ලුසියා මහා විද්‍යාලයට පත්වීමක් ලදිමි. ඊට පෙර මම ලේක් හවුසියේ යොවුන් ජනතා පුවත්පතේ නිදහස් චිත්‍ර සහ අක්ෂර නිර්මාණ ශිල්පියකු ලෙස සේවය කරමින් සිටියෙමි. මම මුලින් ම කැමරාවක් අයිති කොට ගෙන ඡායාරෑපකරණය ආරම්භ කළේ 1977 වසරේ දී ය. ප්‍රාථමික අධ්‍යාපනය ලබන සමයේ දී මා වඩා දක්ෂ වූයේ රචනා කරණයට ය. වරක් ජනරජ දින සාහිත්‍ය තරගයේ දී ද, තවත් වරක් සමස්ත ලංකා සාහිත්‍ය තරගයක දී ද රචනා අංශයෙන් අම්පාර දිස්ත්‍රක්කයේ දක්ෂතම රචකයා වීමි..!! ඈඩවර්ටයිසින් ආයතනයක ප්‍රධාන සැලසුම් ශිල්පියකු ලෙස ද, ජාතික තලයේ පුවත්පත් ගණනාවක රූ රටා සංස්කාරක සහ ප්‍රධාන ඡායාරූප ශිල්පී ලෙස ද, සිල්ක්ස්ක්‍රීන් මුද්‍රණ ක්ෂේත්‍රයේ විප්ලවකාරයකු ලෙස ද, පරිගණකාශ්‍රිත ප්‍රතිරූප සංස්කරණ ශිල්පයේ සිවිල් වැසියකු ලෙස ද ආදී රැකියාවන් ගණනාවක් ම පසු කොට ඇත්තෙමි. යන්තම් බලි කුරුට්ටක් ඈඳ ගන්නට හැකි වීම ද, ලියන දෙයක් තව කෙනෙකුන්ට තේරුම් ගත හැකි සරල ලෙස ලියන්නට ඇති හැකියාව ද මා ලැබූ හේතු වාසනාවක් යැයි මම සිතමි. කළකට පෙර බටුවන්දර ලක්ෂ්මී අබේරත්න නමින් ප්‍රකට කිවිඳිය මගේ ප්‍රියාම්භිකාව වන අතර, අද ඇය ජනශක්ති රක්ෂණ සමාගමේ ජ්‍යෙෂ්ට සහකාර කළමණාකාරිණියක ලෙස රැකියාව කරන්නී ය. මගේ වැඩිමල් දියණි ප්‍රනිධි නවෝදා, මෝස්තර සැලසුම් ශිල්පයට ප්‍රමුඛත්වය දෙමින් කොළඹ, නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ ඇඟලුම් තාක්ෂණ උපාධිය හදාරමින් සිටින්නීය. (අද ඈ නවසීලන්තයේ පදිංචිකාරියක වන අතර ම, මෝස්තර සම්පාදනය සඳහා M.des උපාධිය ද සම්පූර්ණ කර සිටින්නී ය.) පරිගණකයට මහත්සේ ඇලුම් කරන මගේ පුත්‍රයා කොළඹ තර්ස්ටන් විද්‍යාලයයේ උසස් පෙළ හදාරන බව මගේ අදහසයි. !! (අද ඔහු මාලබේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාල තොරතුරු තාක්ෂණ උපාධිය ලැබ මෘදුකාංග ඉංජිනේරුවකු ලෙසින් සේවය කරයි..)

අපේ සාමාජික නාමලේඛනයේ තුන් වැන්නා පාලිත නන්දදේව තේනුවර ය. ලංකාවේ වේදිකාව දිග් විජය කළ නාට්‍ය රැසක වේදිකා පරිපාලකයකු වූ පාලිත මල්ලී කලකට පෙර තිබුනු යුක්තිය නම් විකල්ප පුවත්පතේ රූ රටා සංස්කාරකයකු වූ අතර, අද ලේක් හවුස් ආයතනයේ පරිගණකාශ්‍රිත සංස්කරණ ශිල්පියකු ලෙස සේවය කරයි. අපේ පවුලේ නිශ්ශබද ම චරිතය වන්නේ ඔහු ය. ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ යුග පුරුෂයකු වූ සුගතපාල ද සිල්වා කලා කරුවාණන්ගේ බාල, එක ම දියණි වනමලී හා විවාපත් ඔහු මෙවිඳු පූර්ණජිත් ගලප්පත්ති තේනුවරගේ ආදරණීය පියාණන් වෙයි.

අපේ හතරවැනි සාමාජිකාව වන්නේ ලොක්කී හෙවත් මගේ ලොකු නංගී වන රේනුකා ශ්‍රියානි තේනුවර ය. ඇය රූප සොබාවෙන් අපේ අම්මාට අතිශය සමීප ය. ඔරවන්නේ ද එසේ ම ය. වෘත්තියෙන් ඇඳුම් මැසීම ද, සාරි වැඩ දැමීම ද කරන ඇය විවාහ වී සිටින්නේ ප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ මොටාගෙදර වනිගරත්නයන්ගේ බාල මළණුවන් වූ සමන් සමග ය. ඔහු වෘත්තියෙන් සුදුයකඩ අනුසාරයෙන් ගෘහ භාණ්ඩ නිෂ්පාදකවරයෙකි. මගේ එක ම ලේලිය වන නිලූකා කෞශල්‍යා වනිගරත්න ඇගේ දියණිය වන අතර ඈ මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ අංශයේ, මෝස්තර නිර්මාණ විශේෂවේදී උපාධියේ අවසන් වසර පසු කර ඇගේ ම මෝස්තර නිර්මාණ සැලසුම් ඇකඩමියක් ව්‍පවත්වාගෙන යන්නී ය. . ලොකු නංගීගේ පුත්‍රයා අකිල සබුද්ධි වනිගරත්න ද එම අංශයේ ම චලන ප්‍රතිරූප විශේෂවේදී උපාධිය ලැබ, හිරු රූපවාහිනී නාලිකාවේ සජීවිකරණ අංශ ප්‍රධානී ලෙසින් සේවය කරන්නේ ය.

අපේ නාමාවලියේ පස්වැන්නී පොඩ්ඩී ය. නමින් ඈ මෙනකා ප්‍රියානි තේනුවර ය. ගෘහණියක වන ඇගේ වැඩිමල් පුත්‍රයා ජෙරොම් හිටපු හමුදා සොල්දාදුවෙකි. බාලයා ප්‍රගීෂ කොළඹ තර්ස්ටන් විද්‍යාලයයේ නවවන වසරේ ශිෂ්‍යයෙකි.

අපේ පවුලේ බඩ පිස්සා වන්නේ අමර විශ්වනාථ තේනුවර ය. සුව කළ නොහෙන රුදුරු හෘදයාබාධයකින් පෙලෙයි. කළක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නිශ්චල ඡායාරූප ශිල්පියකු ලෙස "නිශ්ඵල" ව්‍යායාමයක යෙදුනේ ය. එවැනි අවස්ථාවක අනුරාධපුරයේ දී ඇති කර ගත් දැන හඳුනා ගැනීමකින් පසු මයුරී සමග විවාහ විය. දැන් ඔහුට දරු තුන් දෙනෙකි. සංගීත් නිපුන් සනත් නන්දසිරි ශිල්පියාණන්ගේ ශිෂ්‍යයකු වූ මල්ලී වැඩි දුර සංගීතය හැදෑරුවේ නැතිව වුව ද, විවිධ සංගීත භාණ්ඩ වාදනයේ දක්ෂයෙකි. ආලේඛ්‍ය ඡායාරූපකරණයේ දී විශේෂ දස්කම් ප්‍රකට කරන ඔහු මින්ලෝ ප්‍රචාරණ ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂවරයා ව සිටි අතර, ජනාධිපති අපේක්ෂක ජනරාල් සරත් ​​ෆොන්සේකා මහතාගේ නිල ඡායාරූප ශිල්පියා ලෙසින් අපගේ ගර්හාවට ද පාත්‍ර වූවෙකි.

Share/Bookmark

Friday, January 22, 2010

02 - අප අතහැර නොගිය නෑදෑයෝ

නෑයෝ සහ වේයෝ බොහෝ සෙයින් සමානයැයි නොයෙක් වර අප අසා ඈත්තෙමු. දැන් මෙන් එකළ අපට මහා නෑදෑ සමූහයක් සිටි බවක් මම නොදනිමි.

අප දන්නා, අපට ඉතා ම වැඩිමහල් ම, නෑදෑයා වූයේ තාත්තාගේ අම්මා වන අපේ ආච්චි ය. ඉතා ම මිටි ගැහැණියක වූ ඈයට දිව්‍යලෝක රසට සමාන ව අහර පාන උයන්නට හැකියාවක් තිබුණාය. දක්ෂ රන් කරුවකු වූ සීයා පිළිබඳ ව අපට කිසිදු මතකයක් නැත්තේ ඔහු අප අතැර ගියේ අප ඉතා ම පුංචි සන්දියේ නිසා ය.

තාත්තාගේ වැඩිමහල් සහෝදරිය අක්කා , අපේ නැන්දා ය. නමින් මිලී මාග්‍රට් නම් වූ ඈය ද ආච්චි මෙන් ම මිටි තැනැත්තියක ද වූ අතර, පුරාණ ග්‍රාම චාරිත්‍රවලට අනුව නම ගම පමණක් ලියන්නට තරම් අධ්‍යාපනයක් ලද්දියක වූවාය. ඈඳුම් මහන්නට ද, රේන්ද ගොතන්නට ද, රසට උයන්නට ද ඈයට පුලුවන් වූයේ පරපුරේ උරුමයකින් විය යුතු ය. ඇ සාදන මාලු සම්බලය ද, නෙලුම් දඬු මාලුව ද මතක් කරගෙන පමණක් අදත් මට බත් කෑ හැකි ය. එය එතරම් ම රස ය. ඇ විවා පත් ව පදිංචි ව සිටියේ කොළඹ වැල්ලවත්තේ ගාලු පාරේ අංක 325 දරණ තැන ය. මාමා ද රන් කරුවකු වූ අතර, නමින් හෙන්දිරික් සිංඥෝ වුව ද, හේ ප්‍රසිද්ධ ව සිටියේ රත්තරන් මුදලාලි නමිනි. මඩකලපු පලයකාට් සරමක් හැඳ, මේස් බැනියමට උඩින් කළු කෝට් බෑව ද ඈඳ, පොකට් දෙක තුනක් සහිත මහත හම් පටිය ද පැළැඳ, යතුරු කැරැල්ලක් ඉනේ ගසාගෙන, මෝල් ගසක් ගිල්ලා සේ ඍජු ව ඈවිදින, උස මහත, පෙනුමැති හේ නිතර ම නැන්දාට බැණ අඬ ගසනු වුව ද, දරු මල්ලන් ද නැති ඔහු - අපට, විශේෂයෙන් ම අපේ තාත්තාට ද, මට ද බෙහෙවින් සමීප ව සිටියේ ය.

යුරෝපීය ඈඳුම අඳින, හිස මැද්දෑවේ තට්ටයකින් ද හෙබි, තාත්තාගේ අයියා, ආතර් ද සිල්වා තේනුවර හෙවත් අපේ ලොකු තාත්තා ද දක්ෂ නිර්මාණ ශිල්පියෙකි. හේ රැකියාව කලේ අම්පාරේ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සැලසුම් නිර්මාණ ශිල්පියකු හැටියට ය. කාඩ්බෝඩ් සහ කෝක් ශීට් භාවිතා කර ගොඩනැගිලි අනුරූ තනන්නට ඔහු දැක් වූයේ පුදුමාකාර සමත් කමකි. අතිශය සියුම් විස්තර ද සමග ඔහු ඒවා නිර්මාණය කරනු දකින අප ද විසි කරන කෝක් ශීට්වලින් පොඩි පොඩි අත්හදා බැලීම් කළෙමු. නිවාඩුපාඩු වෙලාවට ලොකු තාත්තා පිරිත් මණ්ඩප කැටයම් කලේ ය. සුදු කඩදාසි ගොන්නක් එක මත එලා විවිධ පමණේ කැටයම් කටුවලින් හේ නෙක රටා මැව්වේ විශ්වකර්මයකු මෙන් ය. මහගම සේකර නිර්මාණ ශිල්පියාගේ තුංමංහන්දියේ අබිලිං මාමා ට ඔහු සමාන ය. නමුත් අඩි ගැහුවේ නැත. ඔහු කැටයම් කපනු බලා සිටින අප ද , කඩදාසි එක මත එක තබා කැටයම් කපන්නට අත් පොත් තැබීමු. අපට කැටයම් නියන් තිබුණේ නැත. අප කළේ විවිධ ප්‍රමාණයේ ඈණ අග තලා ඒවා ඈමරි කඩදාසි මත උරච්චි කර, අපට අවශ්‍ය කැටයම් නියන් සාදා ගෙන කැටයම් කැපීම ය.

අපට සිටි ලොකුම නෑයා ගැන කියන්නට මඳක් පමා වන්නේ අප අතැර නොගිය නෑයන් අතර ඈය නැති නිසා ය. ඇය අපේ අම්මා ය. මට අපෙ අම්මාගේ රූප සොබාව හොඳට ම මතක ය. ඈ දැන් අපේ ලොකු නංගී වාගේම ය. ඊට වඩා ටිකක් කළු ය. අපට හිමි ඉදිරියට නෙරූ දත් වහල්ලේ සැබෑ උරුමක්කාරයා ද ඈයම ය. අම්මාට බිම ගෑවෙන තරම් ඉතා දිගු කොණ්ඩයක් තිබුණේ ය. ඇ දිය නා අවසන හිස වේලෙන්නට කොණ්ඩය ගසද්දී මම එහි එල්ලී උංචිලි පැද්දා මට මතක ය. එවිට අම්මා හිස බදාගෙන ඌ..ඌ කියූ හඬ අදත් මට සිහිනෙන් ඇසෙන්නා සේ ය. අම්මා පිළිබඳ ව අපට ඈත්තේ කෙටි මතකයක් පමණි. ඒ වෘත්තියෙන් පුහුණු ඉංග්‍රීසි ගුරුවරියක වූ අපෙ අම්මා 1967 මාර්තු මස 11 දින අප අතැර ගිය නිසා ය. ඒ වන විට අපේ පවුලේ සාමාජික සංඛ්‍යාව 6 දෙනෙකි. ඇ මිය ගිය දා උපන් මල්ලී නමින් අමර විය.
Share/Bookmark

Tuesday, January 19, 2010

01 - මගේ තාත්තා.


මා උපන්නේ අම්බලන්ගොඩ නගරයේ ගාලු පාර අද්දර තිබුණු නර්සිං හෝම් එකක ය. කලෙකට පෙර එය තිබුණු බවක් වට මතක වුව ද අද එය එතැන තිබෙනවාදැයි මට නිච්චියක් නැත. තාත්තාගේ ගම වන හික්කඩුවේ බද්දෙගමටත්, අම්මාගේ ගම වන තිරාණගමටත් ළඟ ම තිබුණු පහසුකම් සහිත එක ම ස්ථානය එය විය හැකි ය.

මා උපත ලැබුවේ සිංහල සහ ගණිත ගුරුවරයකු වන තේනුවර ගුණතිලකගේත්, ඉංග්‍රීසි ගුරුවරියක වන ජයසීලි ද සිල්වාගේත් තුන්වන දරුවා හැටියට ය. ඒ පවුලේ වැඩිමහල් දරුවා වූයේ රෝහණ ගුප්තදේව ය. දෙවැන්නා වූයේ අතුල චන්ද්‍රගුප්ත ය. තුන්වැන්නා වූයේ උපුල් ඉන්ද්‍රනාථ වන මම ය. ගලපටල හෙවත් ඩිප්තීරියා රෝගයට ගොදුරු ව රෝහණ අයියා මිය පරළොව ගියෙන් මම පවුලේ දෙවැනියා වීමි. අප ඔහු ගැන දන්නේ නාම මාත්‍රික ව පමණි.

අපගේ මහගෙදර හඳුන්වන ලද්දේ මුහන්දිරම් ගෙදර නමිනි. එය පිහිටා තිබුනේ බද්දෙගම පාසැල ළඟයැයි තාත්තා කියා ඇත. වරක් අප මහ ගෙදර තිබෙන ඉසව්ව සොයා ගිය ද කිසිවෙක් ඒ ගැන විස්තර නොකිව්වේ අප අයිතිවාසිකම් සොයා පැමිණියා යැයි සිතා විය යුතු ය. තාත්තා ද සමග මහගෙදර සොයා යන්නට හැම පහසුකමක් ම තිබුණ ද, අප මෙන් ම තාත්තාගේත් අල්ප වූ කැමැත්ත නිසා එය අප'තින් මග හැරී ගියේ ය.

එකළ දැඩි කොමියුනිස්ට් වාදියකු වූ අප තාත්තා, ගමට අල්ලපු රජ්ගම ආසනය සඳහා ගම් සභාවට තරග කළ බව බොහෝ කළකට පෙර තාත්තා මහත් ආඩම්බරයෙන් පාරම් බානු අප අසා සිටියේ මහත් කැමැත්තෙනි. වාසනාවකට තාත්තා ඒ මැතිවරණය ජයග්‍රහණය කර තිබුණේ නැත. එසේ වූවා නම් මගේ කතාව මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට තිබුණි.

අතිදක්ෂ චිත්‍ර ශිල්පියකු වූ තාත්තා කොළඹ පිටකොටුවේ ටෙක්නිකල් කොලීජීයෙන් චිත්‍ර විෂයය පිළිබඳ ව වැඩි දුර අධ්‍යාපනයක් ද ලැබූවෙකි. විවාහයට පෙර තරුණ සන්දියේ දී අපේ තාත්තා සංගීතය හදාරන්නට ඉන්දියාවේ භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලයට ඈතුළත් වූ අතර, තාත්තාගේ බැචාලන් වූයේ අද අප හොඳින් ම දන්නා විශිෂ්ටත ම සංගීතඥයකු වූ අනිල් මිහිරිපැන්න සහ නර්තන ශිල්පියකු වූ බැසිල් මිහිරිපැන්න දෙබෑයන් ය. එවකට රැකියාවක නිරත වූ තාත්තාගේ අයියා හෙවත් අපේ ලොකු තාත්තා නිසි කළට මුදල් නොඑවීම ගැන උරණ ව තාත්තා ඉන්දියාව හැර පියා යලි ලංකාවට පැමිණියේ ය. මුදල් ඉල්ලා තාත්තා ලොකු තාත්තාට එවූ ලිපිය, තාත්තා ලංකාවටත් පැමිණි පසු ගෙදරට ලැබී තිබුණි. ලිපිනයේ සිලෝන් යනුවෙන් ලියන්නට අමතක වූ නිසා ඒ ලියුම ලෝකය පුරා ම විවිධ රටවලට ගොස් යළි ලංකාවට ම පැමිණ තිබුණේ සදානුස්මරණිය තැපැල් සීල් අටෝරාස්යක් සමග බව තාත්තා අපට කීවේ එවකට තැපැල් සේවයේ විශිෂ්ටත්වය ද ගැන ආඩම්බර වෙමිනි. තාත්තා භාත්කණ්ඩේ අධ්‍යාපනය හැරපියා යලි ලංකාවට පැමිණියෙන් මගේ කතාව යළි වෙනස් විය.

ඉලන්දාරි කාලයේ අපේ තාත්තා අතිශය හැඩ කාරයෙකු විය. ඈන්දේ ජාතික ඈඳුම ය. විශ්‍රාම යනතෙක් ම කළේ එක ම රැකියාවක් පමණි. ඒ ගුරු වෘත්තියයි. මා දන්නා කාලයේ සිට ම අපේ තාත්තා විදුහල්පතිවරයෙකි. මුල් කාලයේ අප හැම ඉගෙන ගත්තේ ද තාත්තාගේ යටතේ වූ විදුහල්වල ය. තාත්තාගේ තාත්තා හෙවත් අපේ සීයා උස, කෙට්ටු හාදයකු වූ අතර, රිදී රත්තරනෙන් සුකුරුත්තම් වැඩ කළ දකෂ කලා කාරයකු බව මම අසා ඈත්තෙමි. ඒ සීයාගේ උසින් බාගයක් වූ තාත්තාගේ අම්මා හෙවත් අපේ ආච්චීගේ උණුසුම අපි බොහෝ කාලයක් විඳ ඈත්තෙමු.

අල්ලපු ගමේ වුව ද, තාත්තාට අම්මා හමු වී ඈත්තේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ දී ය. තාත්තා මෙන් නොව අපේ අම්මා හරි ම කලු ය. ගැහැණු ම හය දෙනෙකු වූ පවුලේ පස්වැනියා අම්මා ය. එයිනුත් තුන් දෙනෙක් ම ගුරුවරියන් ය. තාත්තාත් අම්මාත් විවාහ වූ පුවත තාත්තාගේත්, අම්මාගේත් නෑදෑ පරපුර දැනගෙන ඈත්තේ පත්තරයක තිබූ දැන්වීමකිනි. අ​පේ තාත්තා එහෙම රැඩිකල් පොරක් වීම ගැන අපට ඈත්තේ අසීමිත සන්තුෂ්ටියකි.
Share/Bookmark