Monday, March 22, 2010

06 පාසැල් ගමන


මේ කතාව ලියන්නේ 1964
 වසරේ සිදු වූ සිදුවීමක් අළලා ය.

අපි පාසල් යන වයස සම්පූර්ණ නොකළ ද, අමමාත් තාත්තාත් සමග ම පුංචි සන්දියේ ම පාසල්
 ගියෙමු. එකළ බාලාංශ පන්ති හෝ මොන්ටිසෝරි තිබුණේ නැත. එමෙන් ම අපේ අම්මා හෝ තාත්තා හෝ ඩේ කෙයාර් සෙන්ටර් ගැන අහලාවත් තිබුනේ නැති වන්නට පුලුවන. ඒ නිසා අපි, එනම් අයියාත් මාත් අම්මා තාත්තා සමග ම පාසල් ගියෙමු. ඒ උහන මහා විද්‍යාලයයි.

අපට නිශ්චිත පන්තියක් නොතිබුණ ද අපි තිබෙන පන්තියක වාඩි වී අකුරු කළෙමු. විවේක කාලය සඳහා සීනුව වදිද්දී ම අම්මා පැමිණ අප ව එකතු කර ගන්නී ය. ඉන් පසු ඒ විවේක කාලයේ දී අපට පාන් පෙත්තක් දෙන්නී ය. ඒ පාන් පෙත්තේ රස මට දැනුදු දැනෙන සේ ය. එය එතරම් රස ය. මන්ද යත් එකළ පාන් ඒතරම් ම විරල අහරක් වූ බැවිනි.

මෙසේ දින වකවානු ගෙවෙන අතර තුර, අම්මලාගේ පාසැලට අලුත් ගුරුවරු දෙපලක් පැමිණියේ ය. ඉතා ම තරුණ, භද්‍ර යෞවනයන් වූ ඒ දෙදෙනාගෙන් එක් කෙනෙක් හරි උස මහත ය. ගැඹුරු, ළයාන්විත කටහඬක් ඔහුට තිබුණේ ය. අනෙක් කෙනා කළු ය. මිටි ය. මේ දෙදෙනාගෙන් කෙනෙකු වන උස මහත කෙනා පත් කර තිබුණේ අපේ අම්මාගේ සහායක ගුරුවරයා හැටියට ය.

පාසැල් විවේක කාලයේ අපි එක් පන්ති කාමරයකට එක් රැස් වූ අතර, මේ දෙදෙනා ද අප සිටි කාමරයේ ම සිටියේ ය. ඔවුන් පත්වීම ලැබ පැමිණි පළමු දා වූ එදින, ඉන් කෙනෙකු බිස්කට් පැකැට්ටුවක් ගෙනැවිත් තිබුණේ ය. තරමක් ලොකු, හරි හතරැස් ඒ බිස්කට් වර්ගය මගේ රස නහර පිනවූයේ ඊට පෙර කිසිදු දිනෙක එය රස විඳ නොතිබුණු නිසා ය. (ඒ බිස්කට් වර්ගය මැලිබන් ක්‍රීම් ක්‍රැකර් ලෙස හඳුනාගත්තේ බොහෝ කළෙකට පසු ව ය.)

අම්මාගේ ඈඟ දැවටෙමින් බිස්කට රස බැලූ අතර වාරයේ අර උස මහත තරුණයා..පුතා ඔයාට අකුරු ලියන්න පුලුවන්දැයි මගෙන් විමසීය. මම ඔව් කීවෙමි. එහෙනම් අකුරුක් ලියල පෙන්නන්න.. ඔහු කීවේ ය. මම වහා හුණු කූරක් රැගෙන කළු ලෑල්ල වෙත ගොස් අත ඔසවා..(උස මදි නිසා ය..) කළු ලෑල්ලේ "අ"යන්න ලීවෙමි. නමුත් නිවැරදි ව අයන්නේ හැඩ තල පිහිටා තිබුණ ද එය මා ලියුවේ සහමුලින් ම අනිත් පැත්තට ය...!!!. අම්මා ද, අර තරුණ ගුරු දෙපළ ද.. ඔවුන් සමග මමද ඈති පමණ සිනා සුනෙමු..!!

ඔබ දන්නවාද අර උස මහත ගුරු තුමා ගැන.. ඔහු තමයි සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා... එතකොට අර කොට හාදයා.. ඔහු තමයි චතුර මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතා.. මේ ඊයේ පෙරේදා දිනෙකත් හමු වූ විට ඔහු අ යන්න ගැන කියා සිනා සුනේ ය. ඒ සිනාසෙන විට ඔහු තනතුරෙන් අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ මාධ්‍ය ලේකම් තනතුර හොබවමින් සිටියේ ය. හෙට අනිද්දා වන විට එය වෙනස් වන්නට පුලුවන. නමුත් ඔහු ගේ විශිෂ්ට නිවේදන හැකියාව නිසි ලෙසකින්වත් වෙනස් නොවනු අෑත...

Share/Bookmark

7 comments:

  1. 1964 කියන්නෙ මම උපදින්න වසර විස්සක‍ටත් කළියෙන්.
    මෙවන් විඳීම් සටහන් කියවන්නට ලැබීම සතුටට කරුණක්.

    ReplyDelete
  2. හරි අපූරු මතකයන් එක්ක අපිව ඈතකට අරන් ගියාට ඔබට ස්තුතියි

    ReplyDelete
  3. Harima rasawath kathawak. Maa bala kale siduviim pelakma mage sihiyata naguna meya kiyawaddi. Bohoma thuthi obata.

    ReplyDelete
  4. අමතක නොවන මතකයක අපූරුව.

    ReplyDelete
  5. මමයි අයියයි දෙන්නත් ඉස්කෝලෙ ගියේ එහෙම තාත්තගේ අතේ එල්ලිලා තමයි.

    ReplyDelete
  6. ඉමිහිරි මතකයන්.........

    ReplyDelete
  7. අහඹු සිදුවීමක්. මේ කාලයෙන් වසර 25කට පමණ පසු මමත් උහන විදුහලට ගියා. ඒ අවුරුදු 3ක දැරියක් විදියට. ඒ කාලෙත් ඩේ කෙයා ගැන නොදැන සිටි මගේ අම්ම සමගයි මා ඒ පාසලට ගියෙ. අපි නැවතිලා හිටිය ගෙදරට එහා ගෙදර හිටිය දැරිය සමග මම ඇයගේ පන්තියේම ඉගෙන ගනිද්දි මගෙ අම්මා ඉගැන්වුවෙ වෙනත් පන්තියක. තවමත් ඒ මතකය සිහිනෙන් ගෑ මුදු සුවඳක් වගේ මට දැනෙනව. මේ පාසලේ ගත කළ කාලය ගැන මගේ බ්ලොග් අඩවියෙත් මම ලියා තිබෙනව

    ReplyDelete