Friday, January 29, 2010

04 - සංක්‍රමණය

අප බද්දේගම හැරපියා අම්පාර බලා ආවේ 1963 ය. ඒ තාත්තාට හා අම්මාට ගල්ඹය සංවර්ධන වැඩ සටහන යටතේ මාරුවීම් ලැබුණු නිසාවෙනි. තාත්තාට කලින් අම්පාරේ ආවේ ලොකු තාත්තා ය. ඒ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ පත්වීමක් ලබමිනි. තාත්තා අම්පාරේ උහන මහ විද්‍යාලයේ විදුහල්පති ලෙසින් ද, අම්මා පුහුණු ඉංග්‍රීසි ගුරුවරියක ලෙසින් ද පැමිණියේ ය. උහන නගරයට ආසන්න ව තාත්තලාට ගුරු නිවාසයක් ද ලැබී තිබිණ. අප ඉතා කුඩා වුව ද මට ඒ නිවස වට පිටාව හොඳින් මතක ය. නමුත් තිබුණු තැන නම් මතක නැත. අප නිවසට අල්ලපු ගෙදර සිටියේ ගිගී අන්කල් නමින් අප හැඳින්වූ සිවිල් සේවකයෙකි. ඔහුගේ කම්මුල් දෙපස රැවුල් පදාස ය තනි සුදු පාට වූ අතර, හේ මිටි , මහත සුන්දර මනුස්සයකු විය. තනිකඩයකු වූ ඔහු සතු ව තුවක්කුවක් ද තිබුණි. ඒ නිසා ම අපට හැමදා ම පාහේ දඩ මස් ලැබුණේ ය. උහන යනු මහ වනයකින් සමන්විත ව තිබී, යෝධ සංවර්ධන ව්‍යාපෘති නිසා ම අර්ධ නාගරීකරණය වෙමින් පැවතුන ද, දඩ මස් සඳහා සතුන් සොයන්නට කිසිදු වෙහෙසක් දැරිය යුතු නොවී ය.

එක් දවසක් ගිගී අංකල් අප ද සමග දඩයමේ ගියේ ය. ඒ පොඩි වැව් පිටියකට ය. විවිධ කුරුලු රෑන් මුළු අහස් තලය ම වසා ගෙන සිටියේ ය. ඒ අතර දස දහස් ගණනින් වූ වී කුරුල්ලන් රෑන් ද එක පොදියට අහසේ සරමින් සිටියේ ය. ගිගී අංකල් සිය තුවක්කුවට පතොරමක් දමා එහි බටයට වී අහුරක් දමා පුරවා, නිකම් ම අහස දෙසට එල්ල කරගෙන සිටියේ ය. ඒ මොහොතේ අහසේ සරමින් සිටියේ අති විශාල වී කුරුළු රංචුවකි. මොහොතකින් කණ් අඩි පුපුරවන තරම් හඬකින් තුවක්කුව පත්තු විය. එ සැණින් වැස්සක් වැටෙන්නා සේ වී කුරුල්ලන් බුරුතු පිටින් මැරී බිම පතිත විය. ඈඹිට්ල්ලන් පොඩිවුන් වූ අයියා ද මමද වී කුරුලු අස්වැන්න තරගයට එක්කාසු කළෙමු. එදා අප රාත්‍රී ආහාරය බදින ලද වී කුරුල්ලන්ගෙන් සපිරුණේ ය.

එක් දවසක රාත්‍රයේ පාර වැරදුණු දැවැන්ත නාඹර මුවෙක් අප නිවෙසේ කඩුල්ලෙන් පැන අප වත්තට ආවේ ය. එදා ගිගී අංකල්ට හරි වැඩ ය. ඔහු දිවවිත් අප වත්තේ කඩුල්ල ද, ඔහුගේ කඩුල්ල ද වසා, අප නිවසේ දොරවල් ද වසා දැම්මේ ය. අයියාත් මමත් ජනෙල් කූරුවල එල්ලීගෙන එළියේ කෙරෙන යුද්දය නැරඹීමු. භයෙන් බිරාන්ත ව ඈස් දෙක විශාල කරගෙන මුවා මහා ධාවන තරගයක යෙදුනේ ය. ඒ පස්සෙන් තුවක්කුවත් අමෝරාගෙන ගිගී අංකල් ද මුවා හඹාගෙන දිව ගියේ ය. මෙසේ ටිකක් දුර දුවන මුවා ආපසු හැරී සිය දැවැන්ත අං තට්ටුව පහතට නමා ගෙන නහයෙන් පිඹියි. එවිට ආපසු දුවන්නේ ගිගී අංකල් ය. නිමේෂයකින් යළි මුවා දුවන්නට පටන් ගනී. දැන් යළි ගිගී අංකල් මුවා පස්සෙන් ධාවන තරගයක යෙදෙයි. තාත්තා ද සරම කැසපට ගසා ගෙන පොඩි තල්ලුවක් දුනා සේ මට මතක ය. වරෙක මුවා ගිගී අංකල්ට ද, අනෙක් පසින් තාත්තාට ද කොටු විය. මෙහොතක් වෙලා තදින් හුස්ම ගත් දැවැන්ත මුවා විදුලි සැරයක් මෙන් අඩි හයක් පමණ උස වැටෙන් පැන ඉදිරි වන පෙත තුළ නොපෙනී ගියේ ය. ඉන් පසු තාත්තා ද, ගිගී අංකල් ද හති දමමින් හොඳ හැටි සිනා සෙණු අප බලා සිටියේ ජනෙල් කූරු අස්සෙන් ම ය.
Share/Bookmark

3 comments:

  1. Mihiri mathakayan....
    Jeevath wuu vata pitawa obe hakiyaawa katayam kala viya hakiya.

    ReplyDelete
  2. මේවා කලින් බලපුවා . . ඒත් ඒ වෙලාවේ කමෙන්ට් කරන්න නම් බැරි උනා . . 18 වෙනි කොටස දාපු දවසේ ආයි මුලු කතාවම මුල ඉඳලා කියවනන් පටන් ගත්තා . . හරිම අපූරුයි අය්යේ

    ReplyDelete
  3. උහන යනු මටත් ජීවිතේටම අමතක කල නොහැකි ප්‍රදේශයකි. මන්ද යත් 2003 වසරේ දෙසැම්බර් 26 වෙනිදා මා මඩකළපුවේදී කොටි ග්‍රහනයට හසුව දින 3කට පසු ඔවුන්ගෙන් මිදී නිරාහාරව මහවනය මැදින් පලා විත් අවසනට මතුවූයේ උහන සින්නවත්ත පොලිස් විශේෂකාර්ය්‍ය බලකා මුරපොල ආසන්නයෙන් වීම නිසාය.... මෙම සටහන කියවන විට, මරණය දැක දැක, රැයපහන්වන තුරැ වතුරඋගුරක්වත් නැතුව, වනය මැදින් කිලෝ මීටර 20ක පමණ දුරක්,තනිවම පැමිණි මේ ගමන්මග යලි යලිත් මා ඉදිරියේ මැවීපෙනෙයි!!!

    ReplyDelete