Tuesday, March 30, 2010

07 නාන කාමරය


පාසැල් වැඩ කටයුතු නිමවා අප ගුරු නිවාසය හෙවත් ​ක්වාටස් වෙත පැමිණියේ පා ගමණිනි. ඉඳ හිට ලොකු තාත්තාගේ කළුපාට මයිනර් කාරය අපේ ගෙදර තිබෙනු මට මතක ය. ලොකු තාත්තාට කාරයක් තිබුණාට හොඳට එලවන්නට බැරි ය.. තාත්තාට කාරයක් නොතිබුණාට හොඳට වාහන එලවන්නට හැකි ය.. මේ මයිනර් කාරය අපේ ගෙදර තිබෙන විට අපේ හැම ගමනක් ම සිදු වන්නේ කාරයෙනි.

කොටින් ම නළ ජල පහසුකම් තිබුණත් ක්වාටස්වල පිටු පස ළිඳ ළඟට අප මුහුණ සෝදන්නට යන්නේ ද කාරයෙනි..!! ළිඳ ළඟට ගිය පසු තාත්තා අපට දත් මදින්නට දත් කුඩු බෙදා දෙයි.. අල්ලක් තරම වූ ගුරු පාට පැකැට්ටුවේ රතු පාටින් "ගෝපාල් ගේ දත් මදින කුඩු" යන වගන්තිය එකළ ද අපට කියවන්නට හැකියාව තිබිණ. මේ පැකැට්ටුව තුළ වූ රෝස පාට කුඩ හරි ම රස ය. දත් මදිනවාට වඩා අප කළේ එය රස විඳීම ය. තාත්තා අපට දත් මදින ආකාරය කියා දෙයි. අහළ පහළ ගසකින් කුඩා කෝටුවක් කඩා ගෙන එහි කෙළවර හපා, තලා අපට බුරුසු තනා දෙයි. අප එයින් ද දත් මදින්නෙමු. අවසන කටට වතුර ගෙන සෝදා දත් අතරින් තද හුළං පාරක් අදින්නෙමු. එවිට කටට මාර සිසිලසක් දැනෙයි.. ඉන් පසු දත් කුඩු රහිත ඇඟිල්ල අපි තදින් දත් මත අතුල්ලන්නෙමු. එවිට පිරිසිදු වීදුරුවක් මත ඈතිල්ලුවාක් වැනි හඬක් මතු වෙයි. මේ හඬ අසන්නට අප ඉතා ම කැමති ය. එවිට අපට සිතෙන්නේ අප දත් ඉතා පිරිසිදු ය කියා යි.

ගුරු නිවාසයේ කෙළවරක විශාල නාන කාමරයක් තිබුනේ ය. එහි එක් කොටසක් වඩා උසට සාදා එහි වැසිකිළි පෝච්චිය (වළ වැසිකිළිය) සවි කර තිබිණි. වැසිකිළි පහසුකම් තිබුණ ද අප බොහෝ විට කක්කා දැම්මේ මිදුලේ ය. අප සරීරකෘත්‍යය අවසන් කර "කක්ක දාලා ඉවරාාායි.." යනුවෙන් තාලයකට මහ හඬින් කෑ ගසන්නෙමු. එවිට අම්මා හෝ ​තාත්තා හෝ අප ව බලා ගන්නට සිටි අත් උදව්කාරිය හෝ පැමිණ අප ව නාන කාමරය තුළට රැගෙන යයි. ඒ අල්ල පනල්ලේ බල්ලන් පැමිණ මිදුල සුද්ද පවිත්‍ර කරන්නේ අම්මාට හෝ තාත්තාට උදව්වට යැයි මම සිතමි.

අප බොහෝ විට නෑම සඳහා නාන කාමරයට යන්නේ අම්මා සමග ය. අම්මා ඈගේ දිග කොණ්ඩය ළිහා බිම දිගේ එළා ගෙන රෙදි සෝදයි. අපි කරාමය ඈරගෙන රිසි සේ වතුරේ නටන්නෙමු. අම්මා අපුලුලන රෙදි ගෙන අඹරා ඒවා පිළිවෙලට නාන කාමරයේ දොර හරහට තබා වේලල්ක් සාදන්නෙමු. ටික වේලාවකින් අපේ යටි පතුල් වැසෙන තරමට ජල කඳක් නාන කාමරය තුළ එක් රැස් වෙයි. ඉන් පසු අපි මේ වතුරේ වැතිර ඈති පදමි සෙල්ලම් කරන්නෙමු. අම්මාගේ දිග කොණ්ඩය නයෙකු සේ වතුරේ පා කරන්නෙමු. බඩ මැද නාලාවක් සවි කළ රබර් සත්තුන්ගේ බඩට වතුර පුරවා එකිනෙකාට විද ගන්නෙමු. මේ රබර් සතුන් අතර සිටි මාලුවා මට අදත් හොඳට මතක ය. අදත් මා අඳින මාලු අතර ඌ ද කොතැනකින් හෝ මතු වී මා සමග සිනාසෙයි.

ඉඳ හිට අප ගහ මරා ගන්නේ ද මේ වතුරේ සිට ය. අම්මා රෙදි ටික යළි සෝදන්නට එක්කාසු කළ විට අප සාදා ගත් වැව අපට අහිමි වෙයි. එවිට අපගේ යුද්දය ද නිමා වෙයි. ඉඳ හිට අප නාන කාමරයෙන් පිටතට හෙලුබැල්ලෙන් ම පැමිණ බිම පෙරලෙන්නෙමු. එවිට අම්මා පැමිණ අප බඩ මැද්දෙන් අත දමා ඔසවා , උකුලට හිර කරගෙන, තට්ටමට පහරක් ගසා, නැවත වතුර පයිප්පයට අල්ලා සෝදන්නී ය. අප එවිට කකුල් දෙක ගසමින් කෑ ගසන්නෙමු...

අදටත් නාන්නට හෝ ඈඟ සෝදන්නට නාන කාමරයට ගිය විට මට අම්මා අපව ඔසවා ගෙන ගොස් සේදූ අයුරු මතක් වෙයි. බඩ මැද්දෑවෙන් ඔසවා ගෙන තට්ටමට ගහන පහර සදා කල් මිහිරක් ව මගේ මතකය පුරා සැණෙන් විසිරී පැතිරී යයි. ඒ මිහිර යළි විඳින්නට අපට නොහැක්කේ අප අද දරු මල්ලන් සිටින මහ වුන් වුනාටත් වඩා අම්මා අප අතර නැතැයි යන සිතිවිල්ල දරුණුවට දැනෙන හෙයිනි.

දුව ද, පුතා ද පුංචි සන්දියේ මම උන් ව ඔසවාගෙන නාන කාමරයට ගොස් අම්මා කළා මෙන් ම තට්ටමට පහරක් ගසා සෝදා ඈත්තෙමි. නමුත් මට මතක ඈති මේ කතාන්දරය උන්ට මතක නැත. මන්ද උන් කවදාවත් වැලි දූලි ​ගොඩේ නොපෙරලුණු නිසා වෙන්නට පුලුවන.....!!!!

Share/Bookmark

Monday, March 22, 2010

06 පාසැල් ගමන


මේ කතාව ලියන්නේ 1966  වසරේ සිදු වූ සිදුවීමක් අළලා ය.

අපි පාසල් යන වයස සම්පූර්ණ නොකළ ද, අමමාත් තාත්තාත් සමග ම පුංචි සන්දියේ ම පාසල්
 ගියෙමු. එකළ බාලාංශ පන්ති හෝ මොන්ටිසෝරි තිබුණේ නැත. එමෙන් ම අපේ අම්මා හෝ තාත්තා හෝ ඩේ කෙයාර් සෙන්ටර් ගැන අහලාවත් තිබුනේ නැති වන්නට පුලුවන. ඒ නිසා අපි, එනම් අයියාත් මාත් අම්මා තාත්තා සමග ම පාසල් ගියෙමු. ඒ උහන මහා විද්‍යාලයයි.

අපට නිශ්චිත පන්තියක් නොතිබුණ ද අපි තිබෙන පන්තියක වාඩි වී අකුරු කළෙමු. විවේක කාලය සඳහා සීනුව වදිද්දී ම අම්මා පැමිණ අප ව එකතු කර ගන්නී ය. ඉන් පසු ඒ විවේක කාලයේ දී අපට පාන් පෙත්තක් දෙන්නී ය. ඒ පාන් පෙත්තේ රස මට දැනුදු දැනෙන සේ ය. එය එතරම් රස ය. මන්ද යත් එකළ පාන් ඒතරම් ම විරල අහරක් වූ බැවිනි.

මෙසේ දින වකවානු ගෙවෙන අතර තුර, අම්මලාගේ පාසැලට අලුත් ගුරුවරු දෙපලක් පැමිණියේ ය. ඉතා ම තරුණ, භද්‍ර යෞවනයන් වූ ඒ දෙදෙනාගෙන් එක් කෙනෙක් හරි උස මහත ය. ගැඹුරු, ළයාන්විත කටහඬක් ඔහුට තිබුණේ ය. අනෙක් කෙනා කළු ය. මිටි ය. මේ දෙදෙනාගෙන් කෙනෙකු වන උස මහත කෙනා පත් කර තිබුණේ අපේ අම්මාගේ සහායක ගුරුවරයා හැටියට ය.

පාසැල් විවේක කාලයේ අපි එක් පන්ති කාමරයකට එක් රැස් වූ අතර, මේ දෙදෙනා ද අප සිටි කාමරයේ ම සිටියේ ය. ඔවුන් පත්වීම ලැබ පැමිණි පළමු දා වූ එදින, ඉන් කෙනෙකු බිස්කට් පැකැට්ටුවක් ගෙනැවිත් තිබුණේ ය. තරමක් ලොකු, හරි හතරැස් ඒ බිස්කට් වර්ගය මගේ රස නහර පිනවූයේ ඊට පෙර කිසිදු දිනෙක එය රස විඳ නොතිබුණු නිසා ය. (ඒ බිස්කට් වර්ගය මැලිබන් ක්‍රීම් ක්‍රැකර් ලෙස හඳුනාගත්තේ බොහෝ කළෙකට පසු ව ය.)

අම්මාගේ ඈඟ දැවටෙමින් බිස්කට රස බැලූ අතර වාරයේ අර උස මහත තරුණයා..පුතා ඔයාට අකුරු ලියන්න පුලුවන්දැයි මගෙන් විමසීය. මම ඔව් කීවෙමි. එහෙනම් අකුරුක් ලියල පෙන්නන්න.. ඔහු කීවේ ය. මම වහා හුණු කූරක් රැගෙන කළු ලෑල්ල වෙත ගොස් අත ඔසවා..(උස මදි නිසා ය..) කළු ලෑල්ලේ "අ"යන්න ලීවෙමි. නමුත් නිවැරදි ව අයන්නේ හැඩ තල පිහිටා තිබුණ ද එය මා ලියුවේ සහමුලින් ම අනිත් පැත්තට ය...!!!. අම්මා ද, අර තරුණ ගුරු දෙපළ ද.. ඔවුන් සමග මමද ඈති පමණ සිනා සුනෙමු..!!

ඔබ දන්නවාද අර උස මහත ගුරු තුමා ගැන.. ඔහු තමයි සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා...
(මේ සටහන ලියන කළ වන විට එතුමා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික අංශයේ කුලපතිවරයා ය) එතකොට අර කොට හාදයා.. ඔහු තමයි චතුර මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතා.. මේ ඊයේ පෙරේදා දිනෙකත් හමු වූ විට ඔහු අ යන්න ගැන කියා සිනා සුනේ ය. ඒ සිනාසෙන විට ඔහු තනතුරෙන් අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ මාධ්‍ය ලේකම් තනතුර හොබවමින් සිටියේ ය. හෙට අනිද්දා වන විට එය වෙනස් වන්නට පුලුවන. නමුත් ඔහු ගේ විශිෂ්ට නිවේදන හැකියාව නිසි ලෙසකින්වත් වෙනස් නොවනු අෑත...

Share/Bookmark