Friday, April 22, 2011

23. අලුත් ඉස්කෝල ගමන...



පිරිත් ගෙදර වැඩ අවසන් වූ පසු පැමිණියේ සිංහල අවුරුද්ද ය. මළ ගෙදරක් අත ළඟ ම තිබූ නිසාවෙන් සිංහල අවුරුද්ද කිසිදු හැඟීමකින් දැනීමකින් ම තොර ව (මේ දැං වගේ) ගෙවී ගියේ ය.

අප්‍රේල් නිවාඩුවට පසු එළැඹෙන්නේ නව පාසැල් වාරයයි. උහණ සමග තිබූ සියලු අක් මුල් සිඳී බිඳී ගිය නිසාවෙන් දැන් අප අලුත් පාසැලකට යා යුතු වෙයි. ලොකු තාත්තලාගේ ගෙදර සිට ළඟ ම පාසැල වූයේ අම්පාර කණිෂ්ට විද්‍යාලයයි. විජිත පුර සිට සැතැපුමකටත් වඩා දුර වූ, මහ තැපැල් කන්තෝරුවට පිටු පසින් එය පිහිටා තිබෙයි. කණිෂ්ට විද්‍යාලයය පසු කර තව ටික දුරක් ඇවිද ගිය විට දැවැන්ත පිට්නියක් සහිත අම්පාර වැව් තාවුල් හමු වෙයි. අම්පාර ටවුමේ සිට උහණ හරහා මහියංගනය, නුවර දක්වා දිවෙන මහා මාර්ගය ඇත්තේ මේ මැදිනි. මේ වෑ කණ්ඩියට ගිය විට කඳු පන්තියක් ඇස ගැටෙයි. දීඝවාපියේ සේනානායක සමූද්‍රයට මුහුණ පා සිටින මහ කඳු ගැටය ද ඒ අතර වෙයි. එය හැඩයෙන් ඩී. එස්. සේනානායක සිරිමතාණන්ගේ ම හැඩ රුවට සමාන ව ඇත්තේ කෙලෙසදැයි කියන්නට සමත් ජගතෙකු තවමවත් මේ දිගාමඬුල්ලෙන් බිහි ව නැත්තේ ය.

මට වඩා අවුරුද්දකින් වැඩිමහල් වූ අනිල් අය්යා ද, මට වඩා මසකින් පමණ වැඩිමල් වූ නාමලී අක්කා ද කණිෂ්ටේ සිටියේ එක ම පන්තියේ ය. මහත් ව්‍යසනයකට පසු කඩා පාත් වූ මාත් වැටුණේ ද ඒ පන්තියට ම ය. තාත්තා අප තුන් දෙනාව ම බයිසිකලයේ මැද පොල්ලේ තබාගෙන පැමිණ පාසැල් වත්තට හරවා බයිසිකලය නැවැත්තුවේ ය. එක පැහැර ඉන් බැස ගත් අනිල් අයියා ද, නාමලී අක්කා ද, තවත් එවැනි ම වූ කණ්ඩායමක් අතර එක සැණින් අතුරුදහන් විය.

මම වට පිට බලමි. බයිසිකලය නැවැත්වූ තැන එක එල්ලයේ ම තරමක කාමරයකි. ඊට යාබද ව මහ දිග ගොඩනැගිල්කි. ඒ ගොඩනැගිල් ඉදිරියෙන් දුඹුරු පැහැ දූවිල්ලෙන් වැසුණු බිම් තීරයකි. ඒ බිම් තීරය කෙළවර මහ ගසකි. ගසට එහා පැත්තෙන් ගෙඩි ගැහුණු මහ ගල් කුලකි...!!

තාත්තා මාද කැටු ව අර කාමරය දෙසට පියමන් කලේ ය. කාමරයේ සිටි විදුහල්පතිතුමා සිය අසුනෙන් නැගිට තාත්තා ව පිලිගත්තේ මහත් සතුටිනි. තාත්තාට සහ විදුහලේ විදුහල්පතිතුමාට බොහෝ දේ කතා කරන්නට තිබිණි. මම ඇඟිල්ල උරමින් එදෙස බලා සිටියෙමි. මද වේලාවකට පසු එතුමා මේසය මත තිබූ සීනුවක් නාද කලේ ය. ටිකකින් අත් දෙක හීනියට සිටින සේ නමන ලද, සුදු අත්දිග කමීසයකින් සහ ක්‍රීම් පාට කළිසමකින් සැරසුණු, ඉතා පැහැපත් වර්ණයක ඇඟපතක් තිබූ භද්‍ර යෞවනයේ සිටින ගුරු මහතෙක් පැමිණ එතුමන් ඉදිරියේ සිට ගත්තේ මහත් ගෞරව සම්ප්‍රයුක්ත ව ය.

ඉනික්බිති විදුහල්පතිතුමා පළමුව අපේ තාත්තා ව එතුමන්ට හඳුන්වා දුන්නේ ය. එතුමා දෑත් එක්කොට නැමී අපේ තාත්තාට ආචාර කලේ ය. ඉන් පසු විදුහල්පතිතුමා මා දෙසට අත දික් කොට “ඔන්න මෙයා ඔයාට බාරයි“ කීවේ ය. එසැණින් එතුමා මහත් වූ සෙනෙහස් බැල්මකින් මුව සරසාගෙන මගේ හිස අත ගෑවේ ය. මම වහා ම ඌට්ටුව අත හැරියෙමි. එමෙන් ම, මෙතෙක් මහා අසරණයකු ලෙසින් ලොකු අයගේ මුහුණු දෙස බලමින්, අසරණ ව සිටි මට මහා අස්වැසිල්ලක් ද, ලොකු ශක්තියක් වැනි හැඟීමක් ද දැනුනේ ය. අතේ පොත් මල්ලක් ඇති වග ද, මා පැමිණියේ අලුත් ඉස්කෝලයකට ය යන වග ද මට වැටහුනේ දැන් ය. ගුරුතුමා මා හිසින් අල්ලාගෙන ම විදුහල්පති කාමරයට යාබද ව ඇති මහ ගොඩනැගිල්ල දෙසට පිය මැන්නේ ය. මාද කිසිදු හැඟීමක් නැති ව, යාන්ත්‍රික ව ම එතුමා සමග පිය මැන්නෙමි. පන්ති කාමරයේ දිග මේස මත අපිළිවෙලකට පොත් කඳු පෙළක් තිබුණ ද, කිසිවකු පන්තියේ සිටියේ නැත. තවමත් පාසැල පටන් නොගෙන තිබූ බැවින් සියල්ලන් ම සිටියේ පිට්ටනිය පුරා දූවිලි අවුස්සමින් නටමින් ය. ගුරුතුමා මා කැටුව ගුරු මේසය ළඟට ම ගොස් වාඩි වුනේ ය. මම ඒ අසල ම සිට ගතිමි. ඉන් පසු මඳ වේලාවක් මේසය මත වැළමිට තබාගෙන, ඉහළට එසැවූ අත් බැඳගෙන, නිහඬ ව ඔහේ බලාගෙන සිටියේ ය. ඉන්පසු එතුමා මා දෙසට හැරුනේ ය. එතුමා මගෙන් ඇසුවේ කුමක්ද, මා දුන් උත්තර කුමක්දැයි අද මට පොඩ්ඩක්වත් මතක නැත. එසැනින් මහ හඬින් සීනුව නාද විය. මෙතෙක් වේලා පිට්ටනියේ දඟ කරමින් හුන් කොලු කෙලි රැස එක පිම්මේ දිවැවිත් මේස පුටු උඩින් පනිමින් පන්තිය තුළ ගාල් විය. මම වටපිට බැලීමි. මා සිටි පන්තියට අමතර ව, මුලු ශාලාව පුරා ම පන්ති ගණනාවක් මට පෙනුනේ දැන් ය. අනිල් අයියා ද, නාමලී අක්කා ද, හති හලමින් සිටගෙන සිටිනු දුටු විට මට මහත් අස්වැසිල්ලක් දැනුනේ ය. එය තනිව ම භුක්ති විඳිනු වස් මම නැවත වරක් ඇඟිල්ල කටේ රුවා ගත්තෙමි. “හා දැං ඔයත් යන්කො පන්තියට“ ගුරුතුමා කීවේ ය. මම එතුමා දෙස වරක් බලා ගාටමින්, කකුල් අද්දමින් මේස පුටු දෙසට පිය මැන්නෙමි. අනිල් අයියා සිටියේ පන්තියේ මැද පෙළ හරියට වන්නට ය. මමද එදෙසට ගෑටුවෙමි. ඒ දිගු බංකුවේ සිටි ළමෝ එහා මෙහා වෙමින් මටත් ඉඩ හසරක් ලබා දුන්නේ ය.

ඊ ළඟ සීනුව නාද වත් ම සියලු ළමෝ දෙඅත් බැඳගෙන ගාථා කීමට පටන් ගත්තේ ය. මම වටපිට බලමින් සිටියෙමි. මට වඳින්නට ද මතක් නොවුනේ ඇඟිල්ල ඒ වනවිටත් කටේ තිබූ නිසා ය.

දැං පන්තියේ වැඩ පටන් අරගෙන ය. දිගු කලක් මහා අටම්පහුරු අලකලංචිවලට මැදි ව සිටි බැවින් මට සිත එකඟ කර ගන්නට අමාරු බවක් දැනෙයි. මෙතෙක් මහා කලබගෑනියකින් පිරී තිබූ මුලු පාසැල් බිම ම, දැඩි නිහඬ බවක ගිලී ගොස් ඇති අතර, ඇසෙන්නේ ගුරුවර ගුරුවරියන්ගේ හඬවල් පමණි.

ඉනික්බිති තව කොපමණ වේලා ගත වී ගියේදැයි මට ගනිච්චියක් නැත. එහෙත් මගේ බඩ පෙරළි කරන්නාක්මෙන් මට දැනෙන්නට පටන් ගත්තේ ය. මුල දී මම එය එතරම් ගණන් නොගත්ත ද එය දැඩි ව දැනෙන්නට පටන් ගත්තේ ය. ඉන්පසු මම ඇඹරෙමින් එය උසුලා ගන්නට උත්සාහ ගත්තෙමි. මගේ දෙපසින් සිටි අනිල් අයියා ද. අනෙක් පස සිටි කෙනා ද මදෙස බලන බවක් මට දැනුන ද මගේ අපහසුව සන්සිඳුනේ නැත. ඉන්පසු ක්‍රමයෙන් බඩ පෙරළිය මහත් ව, මුලු ඇඟ ම සලිත කරමින්, අඹරවාගෙන එන සෙයක් මට දැනිනි. මම එය මැඩ පවත්වන්නට තදින් හුස්ම ගත්තෙමි. අත් දෙක ම දිගු කර මේසයේ කෙළවර තදින් අල්ලා ගත්තෙමි. කිසිදු සහනයක් නැත. බඩ පෙරැළිය ක්‍රමයෙන් පහත් වෙමින් වාඩි වී සිටින බංකුව දෙසට සංක්‍රමණය වන වගක් මට දැනුනේ ය. ඉන්පසු මම දත් ඇන්ද ම කිටි කිටියේ තද කර ගෙන වේදනාව යටපත් කර ගන්නට මහත් වූ උත්සාහයක් ගතතෙමි. නමුදු ඒ සියල්ල නිෂ්ප්‍රභ කරමින්, වේදනාව බංකුව දෙසට ම පහත් වී ගොස් මට මහත් අස්වැසිල්ලක් දැනෙන්නට පටන් ගත්තේ ය. වියැළී තිබූ උගුර කට ද, නැවතී තිබූ හුස්ම ද යළි සක්‍රිය වන්නට පටන් ගත්ත ද, මට දැන් ඊට වඩා අමුත්තක් දැනුනේ ය. ඇඳ සිටි ජංගි කොටය තෙත ගතියක් සහ මහ බර යමක් ඒ තුළ රිංගවූ බවක් මට දැන් දැනෙයි. ඒ සමග ම අමුතු කර ගඳකින් යුක්ත කුයිලයක් ද දැනෙන්නට පටන් ගනියි. මට මහා අසරණ කමක් දැනෙනන්ට පටන් ගත්තේ වුව ද එය මොහොතක්වත් පවත්වා ගන්නට යාබද ඇත්තා ඉඩ දුන්නේ නැත....මදෙසින් මඳක් පැත්තට ඇළ ව එහාට තල්ලු වෙමින්, “මෙන්න සර් මෙයාට කක්ක ගිහිල්ලා....“යි හේ මොර දුන්නේ මුලු පන්තියට ම ඇසෙන්නට ය......................!!!

දැන් ඉතින් තවත් වෙන්නට කිසි දෙයක් නැත.. මට මහා සැහැල්ලුවක් දැනෙයි. එය තනි ව භුක්ති විඳිය යුතු ය. වහා මම ඇඟිල්ල කටේ රුවා ගනිමි. ඉන් පසු ඇස් දෙක ලොකු කර මගේ දෙපැත්ත ද වට පිට ද බලමි. මා සිටි බංකුවේ සිටි සියල්ලන් ම දැං මා කෙරෙන් ඈත් වෙමින් සිටියි. ඒ අල්ල පනල්ලේ ගුරුතුමා මා දෙසට ‍පැමිණෙයි. මම හිස් පහත් කර ගෙන, ඇස් ලොකු කර ගෙන ම, මහා වරදක් කළ එකෙකු මෙන් ඇඟිල්ල ද කටේ රැවාගෙන ඔහේ බලා සිටිමි. ගුරුතුමා කිසිදු කළබලයකින් තොර ව පැමිණ බංකුවේ සිටි සියලු දෙනාව ම නැගිට්ට වූයේ ය. ඊට පසු සිය අත දිගු කර මගේ හිස අල්ලා ගත්තේ ය. සියලු මූසල හැඟීම් දුරී භූත වෙමින් ගොස් මට මහා ආරක්ෂාවක්, දැනෙන්නට පටන් ගත්තේ ය. එතුමා මා පන්තියට එක් කරගෙන ආ ආකාරයට ම, මා පන්තියෙන් එළියට කැඳවාගෙන ගියේ ය. මා ද වෙන කළ යුතු කිසිවක් නොවූයෙන් එතුමන් අනුව ම ගෑටුවෙමි. විදුහල්පති කාමරය පසු කරමින් පැමිණි එතුමා බිත්තිය අසළ මා සිටුවා, යළි ආපසු ගියේ ය. ඉන් පසු මට මහා වේලාවක් ගත වෙන්නාසේ දැනෙන්නට පටන් ගත්තේ ය.ටිකකින් ලොකු වතුර බාල්දියක් ද අතේ එල්ලාගෙන පැමිණි ගුරුතුමා එය බිම තබා මා ඉදිරියේ වාඩි වී මගේ ජංගි කොටය සීරුවෙන් ගැලවූයේ ය. ඉන් පසු මා බිත්තියට යාබදින් වූ කාණුව දෙපසට කකුල් දමා ගෙන සිටින්නැයි කියා මා වාඩි කරවා, වතුර වක්කරමින් මගේ පස්සා පැත්ත අතුල්ලමින් සෝදන්නට පටන් ගත්තේ ය. එක වතුර රළකින් ඇඳ සිටි කමීසය තෙමෙනු දුටු එතුමා එය ද ඔසවා අල්ලා ගන්නට මට දුන්නේ ය. මා සොදා අවසන් කළ එතුමා යළි මා සිටවූයේ ය. පහළට එල්ලෙන කමීසය තෙමෙන නිසා එහි ඉදිරිපසින් ගුලියක් කොට බඩ ඉදිරියෙන් අල්ලා ගන්නට සලස්වා යළි නොපෙනී ගියේ ය. මම සුපුරුදු පරිදි ඌට්ටුව ද ගසාගෙන එලෙස ම නොසෙල්වී සිටියෙමි. ටිකකින් විදුහල්පති කාමරයේ බිත්තිය අද්දරින් හිස් ගෙඩි දෙක තුනක් එබෙනු පෙනුන ද මට එය එතරම් වගක් වූයේ නැත.

දැන්නම් ගෙවෙන කාලය මට මහා කල්පයක් සේ දැනෙයි. නමුත් කළ යුතු කිසිවක් ම නැති බැවින් මම එලෙස ම සිටිමි.

ටිකකින් ගුරුතුමා පැමිණියේ තව කළිසමක් ද රැගෙන ය. ලොකු ළමයකු යවා අසල ගෙදරකින් ඉල්ලා ගෙනැවිත් තිබුණු, කොල පාට මල් සහිත ඒ කලිසම මට තරමක් ලොකු ය. නමුත් හෙලුවෙන් සිටිනවාට වඩා එය අඳින එක හොඳ ය.

ලොකු ළමුන් කිහිප දෙනෙකු ලවා බංකුව එළියට ගෙනැවිත් එය සෝදන්නට රැගෙන ආවේ ද ගුරුතුමා ම ය. එතැන් පටන් යළි පන්තියට ගිය පසු සිදු වූ සිදුවීම් කිසිවක් මට මතක නැත. නමුත් ජංගිය ගැලවූ පසු මට දැනුණු කක්කා ගන්ධය අදත් මට එලෙසින් ම මතක ය. අදත් වැසිකිළි ගිය විටෙක වුව මම ඒ ගන්ධය දැනේ යැයි අපේක්ෂා කරමි. ඉඳ හිට එය දැනෙයි. එය මට අපුලක් ගෙනෙන කාරණාවක් නොවන්නේ ඒ හා සබැඳි සිද්ධි දාමය මට මහා සිහිවටනයක් වන නිසා ය.

දෑස් වසාගෙන මම ඒ දෙවියකු බඳු වූ ගුරුතුමාණන් මතකය අද්දරට ගෙනෙන්නට උත්සාහ කරමි. අවාසනාවකට මට එතුමන්ගේ නම මතකයේ ඇත්තේ ම නැත. නමුත් එදින එතුමන් ඇඳ සිටි ඇඳුම ද, එතුමන්ගේ අතේ පහස ද, මට අදත් එදා මෙන් ම මතක පමණක් නොව ආශ්වාදණීය හැඟීමක් ද ගෙන එයි. එතරම් තුරුණු වියේ සිටියකු වුව ද, කිසිදු කැතක් හිරිකිතයක් නැති ව, කවරදාවත් නොහඳුනන්නෙකු ව සිටි, කක්කා නාගෙන සිටි මා කැඳවාගෙන විත්, සියතින් ම අතුල්ලා, තමන් විසින් ම ගෙනා වතුර බාල්දියෙන් සෝදා පවිත්‍ර කළා වූ ඒ ගුරු දෙවියාණන් නමදින්නට මට වෙන ක්‍රමයක් නැත. පසු කාලීන ව ගුරු වෘත්තියට බට මම ඒ හා සමානව ම දරුවන් වෙනුවෙන් වෙහෙසෙන්නට උත්සාහ කරන්නේ ද, ඒ භක්තිය එතුමන් වෙත පුද කරන්නට ම ය...!! නමුත් එහෙම වාසනාවක් අදටත් මට උදා වී නැත්තේ ය...!!

Share/Bookmark

Sunday, April 3, 2011

22. පිරිත් ගෙදර

දැන් ලොකු තාත්තලාගේ ගෙදර මහ කලබලයකි. විවිධාකාර මිනිසුන් එති යති, ඒ අතර අහර පිසින සුවඳ දසත පැතිරෙයි. දවල් වරුව ම මහ එක ම විජ්ජුම්බරයකි. ක්‍රමයෙන් සන්ධ්‍යා භාගය පැමිණෙත් ම, දහවලේ තිබූ මහ කලබලය සීරු මාරු වෙමින් ගොස් කිසියම් තැන්පත්, ශාන්ත දාන්ත ගතියක් ඇති ව තිබෙන්නාසේ මට දැනෙයි. සාලය මැද්දෑවේ විසල් පිරිත් මණ්ඩපය විරාජ මාන ව සිටී. ඒ තුළ මොකක්දෝ ගසක් සිටුවා, වටේ ට පුටු තබා තිබෙන බවක් මට පෙනෙයි. ඊයේ රාත්‍රියේ ලොකු තාත්තා කෑ ගැසූ හඬ මගේ දෙසවන් පුරා තවමත් තැවරී ඇත්තාක් මෙන් දැනෙන නිසාවෙන් ඊට එබී බලන්නට මට නොහැකියාවක් දැනෙයි.

රාත්‍රිය එළැඹෙත් ම සියල්ල සන්සුන් වෙයි. දැන් ගෙදරට පැමිනෙන්නේ සුදු හෝ ළා පැහැති ඇඳුමින් සැරසුණු, ශාන්ත දාන්ත පිරිස් ය. ඔවුන් කණට ඇසෙන්නට කතා කරන්නේ ද නැත, ගමන බිමන ද මහ අමුතු ය. පැමිණෙන හැම කෙනෙකුන් අත ම පාහේ කිසියම් පාර්සලයක්, මල්ලක් තිබෙනු පෙනෙයි. ඒ සියල්ල ම ඔවුන් ලොකු අම්මා අතට දෙන අතර වාරයේ, ඒ වා ගෙට ගෙන යාමේ මහා භාර දූර කාර්යය බාර ගෙන සිටින්නේ වසන්තයියා ය. ඒවා සියල්ල ම කාමරයේ ඇඳ මත ගොඩ ගැසෙයි. ඒ මොනවාදැයි සොයන්නට මට එතරම් උවමනාවක් ද නැති නමුත් කිසියම් කුතුහලයකින් ද සිත පිරී තිබෙයි.

ලොකු තාත්තා ද, අපේ තාත්තා ද, අන්කල්ලා ද කිසිවෙක් පෙනෙන්නට නැත. පිට්ටනියේ කෙළවරින් දවුල් තම්මැට්ටම නාද වන හඬක් ද, නලා හඬක් ද ඇසෙන්නට පටන් ගැනෙයි. දැන් ටික ටික එම හඬවල් උච්ච වන අතර, පෙරහැරක් එන්නා සේ මට පෙනෙයි. පිට්ටනිය වට පාරෙන් මේ පෙරහැර එන ආකාරය මට පෙනෙයි. ඉදිරියෙන් ම නලා කාරයා ය. ඊට පිටු පසින් රෙ නම්මැට්ටම් කාරයන් තුන් හතර දෙනෙකි. ඊට පිටුපසින් දැවැන්ත කහ කුඩයක් යටින් මොකක්දෝ හිස මත තබා ගත්තෙකු සන්සුන් ගමණින් එනු පෙනෙයි. ඒ අපේ ලොකු තාත්තා ය. ඊට පිටුපසින් තාත්තා මොකක්දෝ පාර්සලයක් උසුලාගෙන එන අතරේ, පිටු පසින් හාමුදුරුවන් පෙළක් ද, ඊටත් පිටුපසින් තව අන්කල්ලා හත් අට දෙනෙකු ද පැමිණෙනු පෙනෙයි.

ගේ පඩිපෙළ පාමුල වියන ලද ලොකු පොල් අත්තක් ද, මැටි කොරහක් ද ඇත. දැන් පෙරහැර අත ළඟ ය. නලාව කිසියම් තාලයකට වාදනය වුව ද, එය අහවල් දෙයක්දැයි කියන්නට මට ගනිච්චියක් නැත. බෙර තම්මැට්ටම් තාලයනම් මට අදත් එදා මෙන් ම හොඳට මතක ය. නලා නාදය වෙනස් වූවා ට, අදටත් බෙර වාදන තාලය නම් වෙනස් වී නැත්තා සේ ය.

හාමුදුරුවන් වහන්සේලා සියල්ල ම ගෙට වැඩ අවසන් වන තෙක් ම එක දිගට සාදු නාදයක් ඇසෙයි. ඒ පැමිණ සිටින පිරිසගෙනි. ඒ හඬ යටපත් වත් ම යළි බෙර වාදනය ආරම්භ වෙයි. ඒ දෙස බලා සිටිනවාට වඩා දෙයක් මට තවත් නැත. බෙර තාලයට අනුව මගේ ඇඟ පත ද ප්‍රකම්පනය වන්නාක් මෙන් මට දැනෙයි. ඒ හඬ මගේ දෙසවන් පුරා පැතිර ඇත්තාට වඩා, සම් මස් නහර, ඇට මිදුළු පසා කොට ගෙන මුළු මහත් සිරුර පුරා ම කිඳා බසිමින්, නින්නාද වනු මට දැනෙයි. නලා හඬ මට මහත් කර්කෂ බවක් දැනෙන්නේ ඇයි දැයි මට නොතේරෙන නමුත් බෙර හඬ ආත්ම ගණනාවක් ම අසා ඇති බවක් මට අදටත් දැනෙයි.

මඳක් රෑ බෝ වූ පසු පිරිත ආරම්භ වෙයි. ඒ හඬ මිදුලේ අඹ ගසේ ගැට ගසා ඇති මහ යකඩ කටෙන් පෙරී ඉදිරි මිදුල පුරා ම දෝරේ ගලයි. හාමුදුරුඑන් රැස ම එක ම තාලයකට ගයන ඒ පිරිත් හඬ මගේ දෙසවන් පුරා ඇතුළු වන්නේ මගේ බියපත් ව, කලබල ව ඇති මනස මහත් වූ ආශ්වාදයකින් පුරවා ලමිනි. අදටත් පිරිතක් ඇසෙද්දී මම ඊට කන් යොමන්නේ එදා ඇසුණු සහ දැණුනු ශාන්තිය අදටත් මට දැනේදැයි සිතා ගන ය. නමුත් අද මට එය ඒ ආකරයෙන් ම දැනෙන්නේනම් නැත...!!!

Share/Bookmark