Wednesday, April 18, 2012

සරණේ පළමු දවස ආරම්භය

මේ උදාවන්නේ සරණ නිවසේ අප ගෙවන පළමු රාත්‍රියයි. ගෙනා කළමනා එහා මෙහා කරන සිල්ලර වැඩ ඇරෙන්නට සිදුවූ කිසිවක් ම නැති තරම් ය. අඳුර පැතිරෙත් ම තාත්තා ලොකු පැට්‍රෝල් මැක්ස් ලාම්පුවට දල්වන්නට පටන් ගත්තේ ය. අපි ඒ වටා වාඩි වී මේ අරුමය බලා සිටියෙමු.

පළමුවෙන් තාත්තා කළේ ලාම්පුවේ උඩ කොටස ගලවා සීරුවෙන් ගෙන පැත්තකින් තැබීම ය. එහි ලොකු කළු පාට දඟරයක් කෙළවර සුදු පාට දැල් දැල් වැනි යමක් තිබුණේ ය. මට එය අල්ලා බලන්නට මහත් ආසාවක් උපන්නෙන්, මම එදෙසට ඇඟිල්ල දික් කළෙමි. තාත්තා "හුහ් හුහ්" වැනි ශබ්දයක් පිට කරනවාත් සමග මම වහාම ආපසු ඇඟිල්ල ගත්තෙමි. "ඔය මැන්ටලේ ඇල්ලුවම කැඩෙනවනෙ බං.." තාත්තා සෙමින් කීවේ මගේ සිත රිදුනාවත්දැයි සැකයෙන් විය යුතු ය.

ඉන් පසු තාත්තා එහි වීදුරු තීරුවලින් සැදි කොටස පිටතට ගෙන රෙදි කැබැල්ලකින් පිස දැම්මේ ය. යට කොටසේ දිලිසෙන ගෙඩියට උඩින් වූ රවුම් කොටස පුරා මැරුණු කුඩා සතුන් විශාල ගණනකගේ මළ සිරුරු කරකුට්ටං වී තිබුණේ ය. තාත්තා ඉරටුවකින් ඒ සියල්ල සුද්ද කළේ ය. එහි උඩ හරියට වන්නට තිබූ කුඩා දීසියක් වැනි කොටසට ලාම්පුතෙල් ස්වල්පයක් වත් කළේ ය. ඉන් පසු යළි වීදුරු කොටස ද, ඊට උඩින් අර මැන්ටලය සහිත කොටස ද යළි සවි කළේ ය. ඊටත් පසු, රිදී පාට බණ්ඩිය මැද්දෙන් තිබූ කූරක් වැනි යමක් එළියට ගෙන එහි කෙළවර අතින් තද කළේ ය. ඊටත් පසු "චුකුස් චුකුස් " හඬින් අර කූර බණ්ඩිය මැද්දට එබුවේ ය.

ඉන් පසු ගිනි පෙට්ටියෙන් කූරක් ගසා , එය අර දීසිය මත තැබූ සැණින් ලොකු ගිනි දල්ලක් එයින් ඉහළට නැගිණි. ලෙලෙන ගිනි දලුවේ එළියෙන් මට තාත්තාගේ මුහුණ පෙනෙයි. එය රන්වන් පාට ය. මම වටපිට බලමු. අයියා ද පාලිත ද මට පෙනෙන්නේ රත්තං පාටට ය. එය හරි අපූරු ම දර්ශනයකි..! ඉහළට නැගි ගිනි දල්ලෙන් අර සුදු පාට මැන්ටලය කළු පාට වනු දුටු මට ඇති වුනේ සියුම් ශෝකයකි. ටික වේලාවක් එසේ සිටි තාත්තා බණ්ඩියේ වූ රවුමක් කරකැවුවේ ය. එවිට මැන්ටලය පුරා ම ලාම්පුතෙල් පාරක් ඉසී, එය "සොස්" ගා සද්දයකින් ලොකුවට ඇවිලුණේ ය. බිය පත් මම පස්සට පැන්නෙමු. නමුත් උක්කුටයෙන් වාඩි වීසිටි මා හිටි තැන ම පෙරලුනා මිස විසි උනේ නැත. තාත්තා ද අයියා ද, පාලිත ද මහ හයියෙන් සිනා සුනෙන් මට මහත් ලැජ්ජාවක් ද, සියුම් දුකක් ද, ඇති වුනේ ය. නමුත් එය එතරම් වේලා පවත්වා ගන්නට සිදු නොවුනේ තාත්තා යළි සුළං ගසන්නට පටන් ගත් විට ය.

නොකඩවා වර ගණනාවක් සුළං ගැසූ තාත්තා යළි අර රව්ම කරකැවුවේ ය. එවිට අමුතු හඬක් එයින් මතු වූ අතර, මැන්ටලය රක්ත වර්ණ විය. මේසේ වරින් වර සුළං ගසක අතරවාරයේ තාත්තා යළි යළිත් අර රවුම කරකැවුවේ ය. දැන් රතු පාට මැන්ටලය දීප්තිමත් කහ පාටින් දිදුලයි. ඒ එළියෙන් වට පිටාව ම ඒකා ලෝක වෙයි. හරියට උදෑසන හිරු එළිය පතිත වන්නා සේ ය. තවත ටිකකින් සුළං ගැසීම නැවැත් වූ තාත්තා යළි දෙතුන් වරක් චූස් චූස් ගාමින් රවුම කරකැවූ අතර, දැන් මැන්ටලය සුදු පාටින් දීප්තිමත් ව බබලන්නේ දහවල් කාලය මෙන් අප අවට ලොකු ආලෝකයක් ද පතුරමිනි.
සියල්ල අවසන තාත්තා මේ පැට්‍රෝල් ලාම්පුව ඔසවා, වහළයේ තිබූ කොක්කක එල්ලුවේ ය. එසේ එල්ලන්නට ඔසවද්දී ලාම්පුව තාත්තාගේ මුහුණට අතිශයින් සමීප වී අවට අඳුරකින් වැසී යයි. දැන් එළිය වැටී ඇත්තේ තාත්තාගේ මුහුණට පමණ ය. ගණ අඳුර මැදින් මට තාත්තාගේ මුහුණ පෙනෙන්නේ මහා වීර පුරුෂයකු පරිද්දෙනි.

අදත් පැට්‍රෝල් ලාම්පු පත්තු නොකළ ද, විදුලි පහන් එළියෙන් සිටිනා තාත්තා ව මට පෙනන්නේ ද මහා පුරුෂයකු ම පරිද්දෙනි...!!!


Share/Bookmark