Saturday, June 16, 2012

දෙවෙනි දවස



දීර්ඝ නින්දකට පසු මට මහත් සුව දායක බවක් දැනෙයි. මම නිදි ඇඳේ සිට ම මට ඇසෙන නෙක නෙක ශබ්ද ගැන විමසිලිමත් වෙමි. ලොකු තාත්තලාගේ ගෙදරදී මට මුලින් ම ඇසෙන්නේ ගව පට්ටියේ දෙණුන්, පැටවුන් සහ ගවයන් නගන හඬ ය. නමුත් අද ඊට වඩා බොහෝ සෙයින් වෙනස් ය.

කුරුලු කූජනයක් ඇසෙයි. නමුත් ඒ කාගේදැයි ගනිච්චියක් මට නැත්තේ එය මීට කළියෙන් අසා නැති නිසා විය යුතු ය. බුකුම් බුකම් හඬනම් වඳුරන්ගේ ම ය. ඒ අතරේ සැර පරුෂ "හැකෝ හැක්" හඬ ද මට ඇසෙයි. එ සැණෙන් උන්ගේ ඉහළට ඔසවා ගත් ඒරියල් වල්ගය සිහි වෙයි. "චීස් චීස්" ගාමින් හීන් කෙඳිරියක් ලෙස ඇසෙන්න්නේ මවු වැඳිරියන්ගේ බඩ මැද්දෑවේ එල්ලී සිටින වඳුරු පැටවුන්ගේ අඳෝනාව ය. ඒ අතර ලව දෙවක් නැති ව ඇසෙන "ෂූ"වකි. එය කාගේ දැයි මා දන්නේ නැත.
ඉඳ හිට මුලු වන බූටෑව ම වසාගෙන, කන් අඩි පසාරු කරගෙන යන හඬක් මතු වෙයි. විටෙක එය මිනිත්තු 5ක් 10ක් පමණ වේලා එක දිගට ඇසෙයි. වෙනත් කිසියම් හෝ ශබ්දයක් මතු වූ සැණින් ඒ හඬ ක්ෂණයෙන් නිෂ්ශබ්ද වෙයි. පසු ව දැන ගත් පරිදි ඒ රැහැයියන්ගේ විලාපයයි. 

මේ සියලු ශබ්ද පූජාවන් අසා සිට ආහ්ලාදයෙන් යුක්ත ව මට ඇඳෙන් බැස යන්නට නොහැකි ය. ඒ නිදිගත් රාත්තිරියේ කිසිවකුට නොදන්වා පහ වූ මූත්තරා වැස්සෙන් ඇඳ සිටින සියලු ඇඳුම් තෙත බරිත ව ඇති නිසා ය. පොරවාගෙන සිටි කඩ මාල්ල ද, දිරා ගිය ඇඳ රෙද්ද ද පමණක් නොව හිස තබාගෙන සිටි කොට්ටය ද තෙමන්නට තරම් මූත්තරාවක් කොහෙන් පැමැණියේදැයි සිතා ගන්නට අදත් මට නොහැකි ය. අයියා හැර මා ද, පාලිත මලයා ද තෙමූ සියලු ඇඳ ඇතිරිලි සියල්ල භාර වන්නේ තාත්තාට ය. මෙය එතරම් අලුත් අත්දැකීමක් නොවන නිසා ම තාත්තා කිසිවක් නොදොඩා ම අප තෙමූ ඇඳ ඇතිරිලි කොට්ට සියල්ල ගුලි කොට ගනියි. එය අහඹුවක් වුව ද ලොකු වරදක් කළ සෙයක් මගේ ළපටි සිතට වැටහෙයි. එනිසා ම අදනම් ඇඳේ චූ කරන්නේ නැතැයි තරයේ සිතා ගනිමි. නමුත් මහ පාන්දර පෙනෙන අමුතු අමුතු සිහින අතරේ පියමං කොට අවසන ඇඳ තෙත බරියං වී ඇති වග දැනෙන්නේ උදේ පාන්දර ය.

ලොකු තාත්තලාගේ ගෙදර සිටිය දී පවා, තාත්තා, නිදි මරගාතයෙ සිටින අප ව වත්තං කොටගෙන ගොස් නින්දට පෙර චූ කරවූ සැටි මට මතක ය. නමුත් නිදි දෙව් දුව අප වැළැඳ ගත් සැණින් ඒ සියලු බැමි ලිහිල් වෙයි. අපි නිදහසේ පියා සරන්නෙමු. අපට කිසිදු බාධාවක්, අතුරු ආන්තරාවක් නැත. අප පසු පස්සේ එන්නේ ද අපට හිතැති සතා සිවු පාවෝ ය. අපි සිත් සේ උන් සමග කෙළි සෙල්ලම් පාන්නෙමු. සින්දු කියන්නෙමු. නැටුම් නටන්නෙමු....ඉඳ හිට අපට එරෙහි ව දත් විලිස්සාගෙන එන්නේ අප සමග දවල් කාලයේ සෙල්ලම් කරන සූටියෝ ය. සුද්දෝ ය. බූලියෝ ය. පපියෝ ය. බ්‍රවුන්ලා ය. බ්ලැකියා ය. ආදී දඩෝරියෝ ය. දවල් තිස්සේ එකට සිටි මේ වල් බල්ලෝ මහ රෑ වූ විගස අපට එරෙහි වෙයි. උන් දත් විලිස්සාගෙන අප පස්සෙන් හඹා එයි. නමුත් අප උන්ට බිය වන්නේ නැත. අපට මහා සෙනගත් සිටියි. වසන්තයියාගේ පිරිවර ද, අනිල් අයියාගේ පිරිවර ද, නාමලී අක්කාගේ පිරිවර ද ආදී එකී නොකී ජන ගංගාවක් අපව සිටියි. අපට පොලු මුගුරු නැත. යගදාවන්, කඩු කස්තාන, තෝමර ආදී ආවුද කිසිවක් නැත. නමුත්, අප සැවොම එකා මෙන් එකතු ව උන්ගේ ඇඟට චූ කරන්නෙමු. නිකං නොව නට නටා ය. විටෙක අප අසා ඇති සින්දු ද කියමිනි. විටෙක අප උන් කොටු කර ගන්නේ උන්ට මොහාතකටවත් සැඟවෙන්නට බැරි අපූරු තැන්වලට ය. උන් අපට දත් විලිස්සයි. අප බිය වන්නේ නැත. අපි කළිසම් පහත් කොට, ලොකු වතුර බටයකින් විදින්නාක් මෙන් උන්ගේ විලිස්සුණු දත් අතරට චූ ප්‍රහාර එල්ල කරන්නෙමු. එවිට උන් කුං කුං ගාමින් බය පක්ෂපාත වෙයි. එයින් උද්දාමයට පත් වන අපි යළි යළිත් උන් කෙරෙහි චූ ප්‍රහාර එල්ල කරන්නෙමු. ඒ ප්‍රහාරයන් කෙතරම් දරුණුදැයි අපට වැටහෙන්නේ උදේ පාන්දර අවදි වූ විට ය....!!!

වීර වික්‍රමාන්විත අප සේනාව ම තෙත බරියං ව අවදි වූ විට, මුවින් නොබැණ ඒ සියල් අස් පස් කරන්නේ තාත්තා ය. ඉන් පසු අප තිදෙනාව ම ගෙයි පිළිකන්නට රැගෙන ගොස්, වතුර බාල්දියෙන්  දෝතට වතුර ගෙන අපේ ඇඟේ පහළ කොටස සෝදන්නේ ය. එතෙක් වේලා කමීසය අල්ලාගෙන ගුලි කරගෙන සිටීම අපේ චාරිත්‍රයක් මෙනැයි මට සිතෙයි. 

ලිප් බොක්කෙන් අහුලා ගත්, අඟුරු කැටයක් විකා දත කට මැද ගැනීම සිදු වන්නේ ඊට පසු ය. ඉඳ හිට මේ අඟුරු කැටයට ම ලුණු කැටයක් ද එක් කොට දෙන්නේ තාත්තා ය. අඟුරු කැටයේ වහුතු රස ද සමග ලුණු රස එක් වූ විට මොකක්දෝ අමුතු රසයක් මතු වෙයි. එය මේ යැයි කියන්නට මට බැරි ය. මන්ද මතක ඇති කාලයක ඒ රසය අත් විඳ නැති නිසා ය. අදත් මම ඒ රසය විඳින්නට මහත් සේ ලොල් වෙමි. නමුත් ස්ටේන්ලස් ස්ටීල් වානේ තහඩුයෙන් සුසැදි ගෑස් කුකරය අඟුරු කැට සාදා දෙන්නේ නැත...!!




Share/Bookmark