Friday, December 21, 2012

මැලිබන් ලෙමන් පෆ්


දිනෙක හවස් වරුවේ ඇලෙන් නා අවසන් වූ පසු තාත්තා තවත් ගමනක් අප සමග ගියෝ ය. ඒ ඇල පාර දිගේම තරමක් දුර ගොස් අතුරු පාරකට හැරී එහි කෙළවර වූ නිවෙසකට ය. එ් නිවෙස අප අම්පාරේ දැක තිබෙන බොහෝ නිවෙස් මෙන් ම සිමෙන්තියෙන් බැඳ, ඇස්බැස්ටස් සෙවිළි තහඩුවෙන් වහළය සෙවිල්ලන ලද එකකි. නිවසේ බිත්ති ළා කොළ පාට ය. මිදුල තරමක් විසල් ය. එහි මැදින් ගෙයි මහ දොර දක්වා සීරුවට තණකොළ කපා සුද්ද කොට, රටාවට ඇමදූ පාරකි. 

තාත්තා අප බැස්සවූ පසු බයිසිකලය ගෙන සුපුරුදු පරිදි, ලැගේජයේ ස්ටෑන්ඩ් එක දිගු කර සිටවා නැවැත්තුවේ ය. ගෙයින් එළියට ආව් තරමක් කළු හින්දෑරි කාන්තාවකි. ඈ ලොකු මල් සහිත ලුංගියක් ඇඳ සිටි වග මට මතක ය. නැමී දොරෙන් එබී බැලූ ඇය "අනේ ලොකු මහත්තයා.. එන්න ගෙට.."යැයි ඉතා ම සුහද ව ආරාධනා කර සිටියා ය. තාත්තා පසු පසින් අප ඉස්තෝප්පුවට ගොඩ වූ විට ඇය "එන්න මහත්තයා. ඇයි මේ එළියෙං.. එන්න මෙහේට.."යැයි කියමින් අප ව ගේ ඇතුළට ම කැඳවූවා ය.

ගෙයි මැද සාලය තරමක එකකි. එහි මැද ටීපෝවක් වටා වූ ඇඳි පුටු හතරකි. පුටු හතර මැද එක් හිසු තැනෙක කුඩා කනප්පුවකි. මම තවත් වට පිට බලමි. සාලයේ කෙළවර බිත්තිය අයිනේ ලොකු කැබිනෙට්ටුවකි. එහි පිඟන් බඩු මහ ගොඩක් අසුරා තිබෙයි. එහි උඩ රේඩියෝවක් තිබෙයි. නමුත් එය ලොකු තාත්තාගේ වයර්ලස් එක තරම් විසල් නැත. ඊට මෙපිටින් තිර රෙදි දැමූ දොරවල් දෙකකි. මා වාඩි වූ පුටුවට ඉදිරියෙන් පියන් හතරක ජනේලයකි. ඊට ද තිර රෙදි දමා තිබෙන අතර, ඒවා සුළඟට වැනෙයි. එසේ ඇරෙන වාරයක් පාසා මහ එළියක් සාලයට දෝරෙ ගලයි.

"සර්, අපේ එක්කෙනා මේ ළඟ වත්තට ගියා. මං එයාට එන්න කියන්නං.."යැයි කියූ අර කාන්තාව අතුරු දහන් වෙයි. තරමක් වේලාවක් යනතෙක් කිසිවකු නැත. අප ද නිහඬ ව ඔහේ සිටිමු.  ටිකකින් කීප දෙනෙක් ම පියවර තබමින් එන හඬ අපට ඇසෙයි. තරමක උස කෙසඟ නොවන පුද්ගලයෙක් ‍ොරෙන් එබෙයි. ඔහුගේ ඇ‍ෙඟේ දැවටී අප වැනිම හිච්චං කොලු කුරුට්ටන් තුන් හතර දෙනෙකි. ඔහු දොර ළඟ සිටගෙන ම කැහැපට ගසා තිබූ සරම පහතට හෙලා, නැවී බොහෝ ගරු සරු ඇති ව "අනේ ලොකු මහත්තයා, මේ වත්තට හරක් රැලක් පනිනව හරි කරදරේනෙ.. වැට පොඩ්ඩක් ඒදන්න ගියා.." කියයි. ඉන් පසු ඔහු කනප්පුව ඇද තාත්තා ළඟ වාඩි වෙයි. ඔවුන් කතා කරන දේ අපට වැදගත් නැත.

ටිකකින් අර කාන්තාව ට්‍රේ එකක තැබූ පියන හැරි කාඩ් බෝඩ් පෙට්ටියක් ද සහිත ව දොර රෙද්දෙන් මෑත් වෙයි. ඈ මුලින් ම යන්නේ තාත්තා අසළට ය. ඇය නැමී තාත්තා වෙත ට්‍රේ එක පායි. තාත්තා අත දමා කිසිවක් ගනියි. ඉන් පසු ඈ අප දෙසට පැමිණෙයි. මා ද අයියා ද, පාලිත ද තාත්තා මෙන් ම ඈ අල්ලන දේ ගනිමු. ඒ බිස්කට් ය.

සුදු පැහැයට හුරු කහ පැහැති බිස්කට් එක තට්ටු දෙකකි. එහි දාර බීක්කු බීක්කු ය. මතු පිට තැනින් තැන ලොකු සීනි කැට දෙක තුනකි. මැද ඇත්තේ ද සුදු පැහැ ක්‍රීම් එකකි. ඒ අත තබාගෙන මහා අරුමයක් දුටුවා සේ සිටින අපට ඇය ඉතා ම කාරුණික ව කියයි. "කන්න පුතාලා.." අපි තාත්තාගේ මුහුණ බලන්නෙමු. ඔහු ද ගත් බිස්කට්ටුව සපයි. තාත්තා බිස්කට් එක පහන "සරස්" සද්දය ද මට ඇසෙයි. අයියා ද මාද පාලිත ද බිස්කට්ටුව රස බලන්නට පටන් ගත්තෙමු...

රස නහර පිනා යන අමුතු ම මිහිරි රසයෙකි. මීට පෙර බිස්කට් කා ඇත ද, මින් පෙර මා කිසිදු දිනෙක එවන් රසයක් අත් විඳ නැත.  එය එතරම් ම රස ය. ඒතරම් මිහිරි බිස්කට්ටුව ඒ තරම් ඉක්මණට අහවර වීම ගැන මසිත දුකක් මෝදු වෙයි. ඒ බව දැනී දෝ අර කාන්තාව යළිත් වරක් ට්‍රේ එක රැගෙන තාත්තා ළඟට යන්නී ය. තාත්තා එපා කියයි. ඊ ළඟට ඈ එන්නේ පාලිත ළඟට ය. ඔහු කිසිදු වගක් නැති ව තව බිස්කට්ටුවක් ගනියි. ඊ ළඟට ඉන්නේ අයියා ය. ඔහුද එකක් ගනියි. මා ළඟට එන්නට කළින් බිස්කට් ඉවරවේයැයි මා සිත මහත් සේ විස්සෝප වෙයි. නමුත් ඒ කරුණාබර කාන්තාව මා ඉදිරියේ නැමුණු විට කාඩ්බෝඩ් පෙට්ටිය තුළ ඇති සියල්ල මට හොඳහැටි දර්ශනය වෙයි. සුදු පැහැ කාඩ් බෝඩ් පෙට්ටියේ ඇතුළත අළු පාට ය. ඒ තුළ කෙළවරක් ඇලවූ සුදු පාට ඝණ බෑගයකි. ඒ තුළ තවත් මැදට රැළි ගැසූ කඩදාසියෙන් සැදි තීරු කිහිපයකි. ඒ අතරේ බිස්කට් ඉතා සීරුවෙන් අතුරා තිබෙයි. මම ඉන් තව එකක් ගනිමි. 

ඒ අමා රසය ඉවර වූයේ පළමු එකටත් වඩා ඉක්මණිනි. දැන් මා අසරණ ය. තව තවත් රස බලන්නට සිතුණ ද අර කාන්තාව ද පෙනෙන්නට නැත. මම වටපිට බලමි. අර කාන්තාව යළි දොර රෙද්ද දෙබෑ කරමින් මතු වෙයි. ඈ අත එවර ඇත්තේ ඔරෙන්ජ් බාර්ලි බෝතලයක් සහිත ට්‍රේ එක ය. තාත්තා අත තවම බිස්කට් කොටසක් තිබෙයි. අප දෙවන වටය ද අවසන් කොට අහවර ය. බීම බෝතලය ද, වීදුරු කිහිපය ද ටීපෝව මත තැබූ ඇය යළිත් ගෙට ගොස් නැවත බිස්කට් පැකට්ටුව ද සමග පැමිණියා ය. මගේ හිසේ මලක් පිපුණි. ඈ යළිත් මුලින් ම ගියේ තාත්තා ළඟට ය. තාත්තා "අනේ මේ ඇති බොහොම ස්තූතියි" කීවේ ය. ඊ ළඟට ඈ හැරුනේ අප දෙසට ය. "අනේ ඔය ඇති ළමයින්ට.." තාත්තා කීවේ ය. නමුත් එය අපට ඇසුනේ නැත. පිළිවෙලින් පාලිත ද, අයියා ද, මාද යළි බිස්කට් එක බැගින් ගතිමු. අප බිස්කට් කන දෙස ඈ බලා සිටියේ හිස ද ඇල කරගෙන ය. දැන් ගෙදර කිසිවකු කතා නැත. තාත්තා ද අර වැඩිහිටියා ද සිනහ මුසු මුහුණින් අප දෙස බලා සිටියි. 

"පව් දෙයියනේ.. අම්ම නැති කිරි සප්පයෝ.." කියමින් ඇය යළිත් අප වටා රවුමක් ගියා ය. අපි බිස්කට් ගතිමු. තාත්තා කිසිවක් ම කීවේ නැත. නමුත් අර කාන්තාව ගෙට ගොස් කඩදාසියක ඔතා කිසිවක් ගෙනැවිත් අයියා අත තැබුවේ ය. ඒ අර බිස්කට් පෙට්ටියේ ඉතිරි ටික ය. ඉන් පසු අපට බීම ලැබුණි. අපි ඒවා ද බිව්වෙමු. එහි අපට එතරම් අරුමයක් නොවූයේ සෑම මල ගෙදරකින් ම, නෑ ගෙදරකින් ම අපට ඒවා ලැබී ඇති නිසා ය.

කතා බහ අවසන් කොට තාත්තා යන්නට නැගිට්ටේ ය. අපිදු ඔහු සමග එළියට ආවෙමු. අප බයිසිකළයට නංවා ගත් තාත්තා කිසිවක් ම නොකියා නිහඬව ම මඳ දුරක් පැදගෙන ආවේ ය. මට එය මහා කල්පයක් සේ දැනුනි. එසේ පැමිණි තාත්තා පාර අද්දර බයිසිකලය නැවැත්තුවේ ය.

"ඉල්ලුවනං මං ඕන තරං බිස්කට් අරං දෙනවනේ බොලල්ලා..." තාත්තා කීවේ තරහින් නොව මහා කඩා වැටුණු හඬකින් බව මට දැණුනි. වෙනදා මෙන් තාත්තා හුස්ම ගන්නා හඬ ද මට ඇසුනේ නැත. එතැන් පටන් ගෙදරට එන තෙක් ම අප කිසිවක් කීවේ ද නැත. කතා කරන්නට දෙයක් තිබුනේ ද නැත.




ගෙදරට ආ විගස අයියා අර උණ්ඩි කළ පාර්සලය ලිහුවේ ය. එහි වූයේ චප්ප වූ කාඩ් බෝඩ් බිස්කට් පෙට්ටියයි. එහි පියනේ උඩ කොළ පාට පසුබිමක කහ පාට අකුරින් ඉංග්‍රීසියෙන්, සිංහලෙන් සහ දෙමළෙන් වගන්තියක් ලියා තිබුණේ ය.

Maliban Lemon Puff
මැලිබන් ලෙමන් පෆ්.


අදටත් මැලිබන් ලෙමන් පෆ් බිස්කට් දුටු විට, අතීතයේ විඳි දුක් කන්දරාවක් අතිශය මිහිරි ලෙස මගේ හදවත කීරි ගසමින් මතු ව, සැණෙකින් අතුරුදහන් වෙයි. ඒ රස මගේ ආත්මය තුළට ම කිඳා බැස ඇත්තේ ය. මා මියගොස් වසර හය හත්සීයක් ගෙවී ගිය පසු ද, අහම්බයකින් හෝ ඇට කටුවක් හමු ව, මේ කාගේදැයි සොයන්නට ඩීඑන්ඒ පරීක්ෂණයක් කළොත් මේ ඇටකටුව අයිති පුද්ගලයා මැලිබන් ලෙමන් පෆ් බිස්කට්ටුවට මේ තරම් ආසා කළේදැයි එහි සටහන් ව තිබෙනු ඇති..!

Share/Bookmark

පොළේ ගොසින් බඩු තේරීම


තාත්තා අප සමග පොලේ ගිය ද, එහෙමට මහා ලොකු බඩු කන්දරාවක් ගන්නේ නැත. ඒ අප සිඟිත්තන් තුන් දෙනාට සහ තාත්තාට එතරම් කළමනා අවශ්‍ය නැති බැවිනි. ඉඳහිට එන්නේ ආච්චි විතර ය. ඒ ආවිට දවස් දෙක තුනක් අප සමග නවතියි. පරිප්පු හොද්ද සමග මසක් මාලුවකට වඩා වැඩි යමක් රසට කන්නට ලැබෙන්නේ ඒ දවස් දෙක තුනේ ය.

තාත්තා සතියට ම සෑහෙන්නට පොල් ගනියි. ඒ ගෙඩි 10ක් පමණ ය. පළමුවෙන් ම පොල් ගොඩෙන් ලොකුත් නැති, පොඩිත් නැති ගෙඩියක් තෝරා අතට ගනියි. ඉන් පසු එහි මුඩ්ඩ පාමුල පාදා එය තෙතදැයි බලයි. ඉන් පසු තවත් පොලයක් ගෙන ඒ දෙක එකිනෙකට තට්ටු කරයි. ඊටත් පසු තෝරාගත් පොලය ගෙන හිස අසලින් තබා සොලවයි...අර තරම් මහා හඬක් නගමින් කෑ කොස්සන් දෙන වෙළෙඳ සමූහයක් මැද්දේ වුව ද මට ඒ "පොලේ අඬන හඬ" ඇසෙයි......!!

දැන් මේ පොල් ගෙඩි ටික අරෙහෙ මෙහෙ වීම වළක්වා ගන්නේ අප ය. හණ ගෝනිය ගෙන එහි කට ඇර, රවුම් දෙක තුනක් නවා ඝණකම් කරන්නේ තාත්තා ය. එහි කට ඇරගෙන අල්ලාගෙන සිටින්නේ අයියා ය. මේ ගෝනියට පොල් ගෙඩි දමන්නේ මා ය. ‍මුල් ම ගෙඩි දෙක තුන මල්ලේ පතුළට වැටී එහෙ මෙහ පෙරලෙන විට ගෝනියට පණ ලැබී ඇත්තාක් සේ මට පෙනෙයි. එය බලා සිටින්නට හරි ජොලි ය. ගෙඩි පහ හය වන විට දැන් මල්ල නටන්නේ නැත. එහි බඩ එහෙන් මෙහෙන් ඉදිමුණු හුඔහක් මෙන් පිම්බෙයි.

තාත්තා පොල් ගන්නේ පොතට ය. එනම් තාත්තා සතුව පොතක් තිබෙයි. පොල් ගණන සහ ගත් දිනය එහි සටහන් වෙයි. පොල් මුදලාලි තාත්තාගේ හිතවතකු නිසාත්, ඔහුගේ දරුවන් තාත්තාගේ ශිෂ්‍යයින් නිසාත් මේ ගන්නේ ණයට ය. ණය මුදල් ගෙවූ විට මුදලාලි එහි කුරුටු අකුරින් යමක් සටහන් කරයි.

පොල් ගණුදෙනුව අවසන් වූ පසු ගෝනිය මුදලාලි සිටින පැත්තෙන් ඔසවා තැබෙයි. ඒ එය ඔසවාගෙන මුලු පොළ පුරා ම කාල් ගෑටීම නිස්සාර, වෙහෙසකර ක්‍රියාවක් නිසා ය.

දැන් ඇත්තේ එළවලු ගැනීමේ අවස්ථාවයි. වැටකොලු කරලක් අතට ගන්නා තාත්තා එහි බඩ මැදට නිය පිටින් තට්ටුවක් දමයි. එය බල් හඬක් නොනගයිනම්, වැටකොල්ලේ දාරයක් ඇඟිලි තුඩින් කඩා දමයි. තෙත සහිත ව එය පහසුවෙන් කැඩෙයිනම් ඒ වැටකොල්ල හරි ය..!!
මුරුංගා කරලක් අතට ගන්නා තාත්තා එය සීරුවෙන් අඹරයි. එය පුපුරන්නේ නැතිනම් ගැනීමට සුදුසු ය. එසේ කළ ද ගන්නා සියලු ම මුරුංගා කරල් අඹරා බලන්නේ නැත. පොත්ත වියළි බවක් සහිත කරලක් අසු වූයේ නම් එය ඇඹරෙයි.  බෝංචි ගොඩ ළඟට යන තාත්තා එහි කරලක් අතට ගෙන, ඇඟිලි දෙකක් මැදට තබා මහපටැඟිල්ලෙන් තෙරපයි. එය "පට්" හඬින් පහසුවෙන් දෙකට කැඩෙයිනම් ඒවා ද ගන්නට සුදුසු වෙයි.  නාකි ගැමියකු මෙන් දෙකට නැමී කුදු වක ගැසුණු වම්බොටු සහ බණ්ඩක්කා තෝරා ගන්නේ නැත. ඒවායේ නැම්මේ අනිවාර්යයෙන් ම පණු ගුහා තිබෙයි. සමහර ඒවා පිටතට පෙනෙන්නේ සියුම් කළු තිතක් ලෙස පමණ ය. නමුත් කපා බැලුවොත් එහි පණු ගුලියක් ම සිටිනු පෙනෙයි. එකල බව බෝගයන්ට විස රසායන ගැහිල්ලක් සිද්ද නොවුණු නිසා මේ පණුවන්ගෙන් වන ගැහැට තරමක් ඉහළ ය.

ඊ ළඟට තාත්තා යන්නේ කරවල කඩ වෙතට ය. කරවල කෑල්ලක් අතට ගන්නා තාත්තා ඇඟිලි තුඩු දෙකින් එහි සුඟක් කඩාගෙන කටේ දමා හපා බලයි. ඉන් කිරි මාලු රස දැනෙයිනම් ඒ කරවල හොඳ ය. කරවල වර්ග දෙක තුනකින්, එකකින් අරික්කාලක් පමණ ගැනීම තාත්තාගේ සිරිත ය. (අරික්කාලක් යනු රාත්තලකින් කාලකින් ද අඩකි. ග්‍රෑම්වලින්නම් 50ක් පමණ ය.)

තාත්තා මාලු ගන්නේ ඉඳ හිට ය. නමුත් සෑම සති අන්තයක ම සහ අතර මැද දවසක හරක් මස් ගැනීමනම් කරයි. මස් කඩ තිබෙන්නේ පොළේ ඉදිරිපිට මාකට් එකේ දකුණු කෙළවරේ ය. මස් වෙළෙන්දෝ සියල්ලෝ ම මුස්ලිම් මිනිසුන් ය. ඒ නිසා එහි ඌරු මස් විකුණන්නට නැත. වැඩියෙන් ම තිබෙන්නේ හරක් මස් ය. ඊ ළඟට ඇත්තේ එළු මස් ය. කුකුල් මස් කඩයක් ඇත්තේ ම නැත. එකල අම්පාරේ සිටි අපට කුකුල් මසක රස බලන්නට ලැබෙන්නේ මගුල් ගෙදරකදී පමණ ය. කෙනෙකුට කුකුල් මස් සමග බතක් දෙනවා ය කියන්නේ ඉහළ ම සංග්‍රහයකි..!!

මස් කඩ කාරයා මස් බාගයක් කිරා ඒ මස් කුට්ටිය පත ලී කොටය මත දමා ලොකු වක් පිහියෙන් දෙතුන් වරක් කොටයි. එහි කටු තිබුණ ද, ඒ පිහියට ඒවා කැපෙන්නේ බටර් වගේ ය..! ඉන් පසු ලොකු හබරල කොළයක් ගෙන ඒ මැදට මස් ටික දමා, ඒ  අසළ ගොඩකින් තවත් මොනවාදෝ කටු කොහොල් ටිකක් ගෙන එය ද අර මස් ගොඩට දැමෙයි. ඉන් පසු ඔහු එය වහා ඔතයි. ඉන්පසු සිමෙන්ති බෑග් කඩදාසියක් ගෙන, අර හබරල කොළ පාර්සලය එහි තබා ඔතන අයුරු බලං ඉන්න අපූරු ය. ගෙදර යන තෙක් එය ලිහෙන්නේ නැත. මස් රාත්තලක් සත 20ක් 25ක් පමණ වෙන අතර මස් බාගයක් ම වන්නේ සත 12කි. එසේ වුවත්, මස් අතරට හොරෙන් හෝ මී හරක් මස් ටිකක් දමා දීම මේ මුදලාලිලාගේ ජන්ම පුරුද්දකි. මී හරක් මස් එළ හරක් මසට වඩා රතු ය. මස් තද ය. තැමුබූ පසු කට්ටට සවි වී ඇති කොටස් කීරි සහිත ය. මානම් එළ හරක් මසට වඩා කැමති මී හරක් මසට ය. කමේ මස් කෑ පසු දත් අතර කෙඳි මෙන් කැබලි රැඳී තිබෙයි. කෑමෙන් පසු වතුර ද බී, නියපොත්තෙන් පාදමින් ඒ කීරි මස් රස බැලීම හරිම ආනන්ද ජනක ය..!!

දැන් අප යළි ගෙදර බලා පිටත්වන වේලාව හරි ය. අව් රැල්ල ද, දාහය ද තරමක් වැඩි ය. බඩගින්නක් ද ලියලා වැඩෙයි. දැන් අප සිටින්නේ සහල් කඩ ඉදිරියේ ය. හාල් සේරුවක් සත 15කි. හොඳම තැම්බූ හාලක් සත 18කි. හාල් ඇට දෙක තුනක් කටේ දමා ගන්නා තාත්තා ඒවා කටින් සපනවිට "කටස්" ගා හඬක් නැගෙයි. අප හාල් තෝරන්නේ නැති වුව ද, තාත්තාට වඩා ඇට දෙක තුනක් වැඩියෙන් කටේ දමා ගන්නෙමු.

මේ හාල් ගෝනි කිහිපය අසබඩ ම තවත් එක් ගෝනියක් ඇත. එහි එක් පැත්තක් දිලිසෙන තද දුඹුරු පැහැති සහ වටේ අළු පැහැති අඟල් බාගේ පමණ කැබලිති මහ ගොඩකි. පොල්වලින් තෙල් හින්ද පසු ඉතිරි වන පුන්නක්කු නම් මේ ය. ඒවා තිබෙන්නේ හරකුන් ට දීමට ය. මීට කලින් කා බලා ඇති නිසාවෙන් එහි ඇති පැණි රසය මගේ කටට කෙළ උණවයි. හීන් සැරේ වට පිට බලා මේ පුන්නක්කු කැට දෙක තුනක් ගෙන ජංගි සාක්කුවේ දමා ගනිමි. අයියා ද එසේ කොට ඇති වග  දැන ගන්නේ ගෙදර ගිය පසු ය.

තාත්තා අවසානයට ම මිල දී ගන්නේ සිළුමිණ පත්තරයයි. එය සත 10කි..!!

ගෙදර ගිය පසු ගෙනා බඩු මලු ලිහා, ඒවා නියමිත තැන්වල අසුරන්නට අප ද උදව් වන්නෙමු. පොල් ටික ගොඩ ගැසෙන්නේ කුස්සියේ දර ගොඩ ළඟම ය. හාල් දමන්නට වෙනම ලොකු වට්ටි දෙකක් තිබෙයි. එළවලු සියල්ල වෙන වෙනම ලොකු ඇස්වට්ටියක අතුරා එහළයේ එල්ලයි. කරවල ටික දමන්නේ ලිප උඩ එල්ලා ඇති වේවැල් කිරි ගොට්ටක ය.

දැන් තාත්තා උයන්නට සැරසෙන අතර වාරයේ අයියා තමන් ගෙනා මහාර්ඝ වස්තුව අප තුන් දෙනා අතරේ ම සමසේ බෙදයි. මාද මගේ පංගුව ඊට එක් කරමි. එමේ මෙහේ යන අතර වාරයේ අපි පුන්නක්කු කැබලි කටේ දමා ගෙන සපන්නේ තාත්තාට හොරෙනි. "මොනාද බොලා ඔය කන්නේ..?"යි තාත්තා ඇසූව ද අප උත්තර දෙන්නේ නැත. තාත්තා උත්තර බලාපොරොත්තු වන්නේ ද නැත.

අදටත් යමෙක් මට හරක් කතාවක් කියා බැණ අඬ ගසන විට මගේ රස මනසට එන්නේ ම ඒ අති මිහිරි වූ පුන්නක්කු රසයයි.

Share/Bookmark