Thursday, August 13, 2015

අපේ දිව්‍ය භෝජන - අංක 2


සේරුව සත 13ක් 15ක් පමණ වන හාල් අතර අඩ් මිලට ගත හැක්කේ හුනුසාල් ය. අප හුනුසාල් කියන්නේ සුන් වූ සහල්වලට ය. හෙවත් ඇඹරුම් යන්තරයෙන් සුද්ද කිරීමේ දී කැඩුණු හාල් ඇට වෙනම එකතු කළ විට ය. මේවා මිල අඩු ය. හාල අනුව එ්වා සේරුවක් සත 7 - 8ක් පමණ වෙයි. අප වැන්නෝ ඒවා ද මිලදී ගන්නෙමු ය..

හුන්සාල් ගරන එක තරමක් අමාරු ය. සීරුවෙන් කළ යුතු ය. කුඩා හාල් ඇට කැබලි නිසා ඒවා වතුර සමග පහසුවෙන් අහක යන නිසා ය. ඊටත් වඩා එහි ඇති ගල් වැලි කන්දරාව නිසා ය. හුන්සාල් බත් උයන්නේ උදේ කෑමට ය. හුන්සාල් බත සමග පොල් සම්බලයක් හෝ කිරි හොද්දක් පමණක් තිබුනත් ඇති ය...! පොල් සම්බලය හදන්නේ ඇලුමිනියම් මැටි කෝප්පයේ ය. දෙහි දැමූ පසු ඒ ටික වෙනත් බාජනයකට මාරු වන්නේ ඇලුමිනියම්වලට දෙහි හොඳ නැති නිසා ය. සම්බලය ඉවත් කළ මැටි කෝප්යට හුනුසාල් බත් දමාගෙන කෑමේ වරම ඉඳහිට අපට ද උරුම වෙයි. 

උදේ කෑමට අපට වැඩියෙන් ම ලැබෙන්නේ හීල් බත් ය. ඒ කියන්නේ රෑ උයා ඉතිරි වුනු බත් ය. නැවත වතාවක් ලිප තබා ගත් විට එය ඊයේට වඩා බෙරි වෙයි. නමුත් එහි රස අපූරු ය.. රෑ ඉතිරිවන බතට වතුර කෝප්පයක් ද, ලොකු කැබලි වන්නට කැපූ අමු මිරිස් කරල් දෙක තුනක් ද, දෙකට තුනට පැලූ රතු ලූණු ගෙඩි හතර පහක් ද දමා වසා තැබූ විට උදේට ලැබෙන්නේ දියබත් ය....!! උදේට ඒ මුට්ටියට ම පොල් රලක් ද ගා එකතු කළ විට අර සේරටම වඩා දිව්‍යෙලා්ක රහ ය...!!

එලවළු මාළු අතරින් අපට විශේෂ වන ඒවා දෙක තුනක් ද තිබේ. පිපිඤ්ඤා පට්ට තිත්ත ය.. නමුත් නැට්ට පැත්තෙන් පෙත්තක් කපා, බුලත් විට හුණු ඇබින්දක් තවරා ඒ පෙත්තෙන් ම වාර දහ දොළහක් ඇතිල්ලූ විට, ඝණ පෙන කැටියක් මතු වෙයි. පුදුමය වන්නේ අර තරං තිත්ත ගෙඩියෙන් එලියට එන මේ පෙන තිත්ත නැති වීම ය. පිපිඤ්ඤාව කැපූ පසු එහි ඇට සහිත කොටස වෙනම තසිමකට දැමෙයි. ඊට ලුණු බින්දු දෙක තුනක් ඉස ගත් විට ආයෙ වෙන මුකුත් ඕන ම නැත.. කිරි ඇට සමග හැපෙන දිය සීරුව ඒ තරම් රස ය..!!

බණ්ඩක්කා ගෙන ආවිට, තෙත කොහු හුඟකින් අතුල්ලා එහි බූව ඇරිය හැකි ය. ඊට පසු උයන්නට පෙර අපි ඒවා කන්නේ අමු අමුවේ ය..ඒ කිරි රස මාර ය..ඉතිරි ටිකට මිටි කිරි අල්ලක් දා ලිප තබා යාන්තං රත් කර ගත්තාත් ඇති ය.. ඒකත් මාර රස ය..!

“වම්බොට්ටේ රස නැට්ටේ..“ තාත්තා නිතර කියයි. කතාව ද ඇත්ත ය. වම්බටු ගෙනා විට, අමු පහේ දමා තෙලට හෝ කිරට උයන්නේ එහි නැට්ටත් එක්ක ය. කොළ පැහැති තැරිය වෙනස් ම රසකි. එනිසා ම මේ නැටි කන්නට අපි හරි කැමති ය. වම්බටු ගනිද්දී සීරුවෙන් තෝරා ගත යුතු ය. ගෙඩිය මැද කලු තිතක් සහිත ව වක ගැසී ඇත්නම් අනිවාර්යයෙන් ම එහි මැද පණුවන් සිටින්නේ ය. සමහර පණුවන් වම්බට්ටටත් වඩා ලොකු ය... මේ පණුවන් වම්බට්ට මැද සිටින්නේ උන්ගේ බෙටි ද සමග ය..

වැටකොලු කන්නට ද අපි හරි කැමති ය. අබ සහ කහ දමා මිටි කිරෙන් උකුවට ඉවූ විට ඉන් ලැබෙන්නේ ඉමිහිරි පැණිමය රසයකි. වැටකොලු උයන්නට පෙර එහි දාර සහිත ඝණ පොත්ත, දාරය පිටින් ම කපා ඉවත් කරනු ලැබෙයි. නමුත් ඒවා විසි කරන්නේ නැත. මේ ඝණ දාර පොතු ටිකට ලුණු ඇටයක් දමා තම්බාගත් විට හැන්දෑවට අතුරු ආහාරයක් වෙයි. වැටකොලු ගොඩේ මේරූ කරල් අත්නම් ඒවා තෝරා හණ කෙන්දකින් උඩකින් එල්ලනු ලැබෙයි. වැටකොල්ලේ මේරූ කරල් තිබේනම් ඒවා තෝරා බලන්නේ අර දාරය මහපටැඟිල්ලෙන් කඩා බැලීමෙනි.සුමාන දෙක තුනක් ගිය විට වැටකොලු ගෙඩියේ මදය දියවී ගොස්, වේලී දුඹුරු පාට වුණු, කොහු ගෙඩියක් ඉතිරි වෙයි. නාද්දී පිට අතුල්ලන්ට ද, වළං පිඟන් හෝදන්නට ද ගන්නේ මේ වැටකොලුවා ය...!

ඉවුම් පිහුම් රාකාරියෙන් පසු අප - අයියා ද මාද අකමැති ම රාජකාරිය වන්නේ වළං හෝදන එක ය.. ආච්චී සිටින විට අප මේ රාජකාරියෙන් ඉබේ ම නිදහස් වන්නේ උයා පිහා අවසන ඈ සියලු වළං පිඟන් සෝදා දමන හින්දා ය. තාත්තා ද පන්ති රාජකාරි නැතිනම් සියල්ල සෝදා දමයි. අපේ ඇඟිලි කැපිලා තිබෙන්නේ ද, නියපොත්ත අග තුවාල වී තිබෙන්නේ ද, වැලමිට ළඟින් අත නවන්නට බැරි අමාරුකම් ඇති වන්නේ ද, ඉතිරි දවස්වලය....!! නමුත් ඉඳහිට හෝ කිරිබතක් ඉවුණු දාට වළං හේදිල්ල මහා කඹ ඇදිල්ලක් බවට පත් වන්නේ දංකුඩේ අයිති වන්නේ වළං හෝදන එකාට නිසා ය..

කිරිබතක් පිසින්නට විශේෂ හේතුවක් නැත ද, ඉඳහිට අපට උදේට කිරිබත් කන්නට ලැබෙයි. කිරිබත් උයන දාට ලිපට දර දමන්නට ද, දර පලා දෙන්නට ද අප ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන්නෙමු. බත ඉදුනාට පසු ඊට කිරි දමා වසා තබා ටිකකට පසු මුට්ටිය “චිරි චිරි“ ගාන විට, බත කූරු ගාන්නට ද, කූරු ගෑ හැඳි මිටේ ඇති බත් ඇට කා බලා බත ඉදී ඇත්දැයි බලන්නට ද කාටවත් කිව යුතු ම නැත... ඉඳ හිට ගින්දර වැඩි වී බත රොස් වූවොත්, වහා ම බත බාන්නේ වතුර හට්ටියක් මතට ය... “සොරෝඕඕස්...“ ගාමින් නැගෙන හඬ අසන්නට ද, මුට්ටිය වැසෙන තරමට මතු වන සුදු හුමාලය දකින්නට ද හරි ආසා ය.. ඊටත් වඩා රොස් සුවඳ සමග මතු වන කිරි සුවඳ ආඝ්‍රාණය කරන්නට ද හරි ආසා ය..!!

කිරිබත බෑ සැණින් ඊ ළඟට උදා වන්නේ වළං හෝදන්නේ කවුදැයි තේරීම ය...
“ඔන්න අද මං වළං හෝදන්නෙ..මං“ මං කියමි.. “උඹ ඊයෙත් හේදුව.. “ අයියා කියයි. තරමක් වේලා වාද කිරීමෙන් පසු දංකුඩ ටිකක් දෙන පොරොන්දුව පිට ආරවුල අතරමග ම නවතා ගන්නට අපට හැකි ය.. කිරිබත හට්ටියෙන් බාන්නේ තවාගත් කෙසෙල් කොළයක් මතට ය.. තවත් කෙසෙල් කොළ කෑල්ලකින් එහි උඩ ද තවනු ලැබෙයි. නිවෙන තෙක් තබා කපාගන්නේ ඊට පසුව ය. මේ අල්ල පනල්ලේ  මුට්ටිය පතුලට පොල් කිරි ටිකක් දමා වටේට කරකවනු ලැබෙයි. රස්නේ පිටින්නම් එය වඩා හොඳ ය. මේ දංකුඩේ ගලවාගනු පහසු වනු පිණිස ය. කිරිබත උයන්නට පොරාතුව ම මේ කිරි පොඩ්ඩ වෙන් කර තබා ගැනීම අපේ සිරිත ය...

සම්බෝල තියා මුකුත් ම නැති ව, බාගෙට රොස් වූ මේ කිරිබත් දංකුඩය කන්නට දෙනවානම්, අද වුව මේ විඳින සියලු වරදාන මෙන්න කියා දී දාන්නට මට පුලුවන...!!

Share/Bookmark

Wednesday, August 12, 2015

අපේ දිව්‍ය භෝජන - අංක 01


කෑම බීම ගැන, ඒවායේ විච්චූර්ණ ගැන අපට එතරම් ගනිච්චියක් තිබුනේ නැත්තේ, ඒවා වරග කොට සොයා බලා කන්නට අවස්ථාවක් අප මතක ඇති කාලයේ නොලැබූ නිසා වන්නට පුලුවන. එකල අපට සිටි මහා ම සූප වේදියා වූයේ තාත්තා ය..අතරමැද කාලයක අප වඩාත් ම රසවත් අහරවේලක් ලැබුවේනම් ඒ අපේ ආච්චී උයා පිහා දෙන දෙයකින් ය.

ආච්චී අයන විට ද ඈට උදව්වට පොල් ගා දෙන්නේ අයියා හෝ මා ය. ආච්චි අයියාගෙ පොල් රලවලට එතරම් කැමැත්තක් නැත. ඒ ගොරෝසු නිසා ය. මට ඉතා සිහිනයට පොල් ගාන්නට පුලුවන. හිරමනයේ තට්ටුව මත කකුලක් තබාගෙන, පොල් අඩලය සීරුවට කරකවමින් මම පොල් ගාන්නෙමි. පොල් ගාන්නට පෙර, පොල් කට්ට හැකි තරම් සුද්ද පවිත්‍ර කර ගන්නට මට උවමනා වෙයි. පොල් ගාන පිඟානේ උඩ කෙළවරේ දුඹුරු කුණු පාට කොහුබත් කුඩු තිබෙනවාට මම අකමැත්තෙමි. එනිසා පොල් බෑය ගෙන එහි ඇති සියලු කෙඳි අතින් ඇද කඩා දමා, කොහුබත් ද අතින් පිස දමා පොල් ගාන්නට පටන් ගනිමි. පොල් රල හත අටක් පිඟානට වැටුණු පසු, ඉන් එක් කටක් කන්නේ ද වට පිට බලා හොරෙනි. අයියාට පොරාතුව පොල් ගාන්නට වරම් ඉල්ලා ගන්නේ ඔන්න එය රහස නිසා ය...! පොල් ගාද්දී තලය දිගේ හෙමින් හෙමින් උඩ පැන පැන, මගේ පැත්තට එන දියසීරාව වැඩි පොල් රල ද හරි රහ ය..! 

වට්ටියක් ද ගෙන උදෙන් ම වත්තේ පිටියේ ඇවිදින ආච්චි, නොයෙක් ජාති වල් කොළ නෙලාගෙන එන්නේ මැල්ලුම් සෑදීම සඳහා ය. මේ කවලං මැල්ලුමට වෙනත් නම් කියන්නට බැරි ය. සෝදා ගත් කොළ අහුරක් කිටි කිටියේ අත මිටට ගෙන, ලී කෑල්ලක් අඩයක් වශයෙන් තබා, කකුලේ මහපටැඟිල්ලටත් වෙනැඟිල්ලටත් තද කර ගත් පිහිතලයෙන් ඒ කොළ සියුම් ව ලියාගන්නට ආච්චි හරි සමත් ය. ඒවා කෙස්කොටවලටත් වඩා සියුම් ය. කොළපත මතට මෙසේ ලියාගත් මැල්ලුම ඒදන්නේ මැටි හට්ටියක ය. ඊට පොල් අහුරක් ද, හීනියට කැපූ රතුළූනු අහුරක් ද දමා, ලුණු පොල්කට්ටෙන් අතට වක්කරගත් දියරය ලතාවකට ඒ මත ඉසිනු ලබයි. ඉන්පසු සියල්ල එක වරක් කරකවා, වැඩි තදකින් නැති ව මිරිකනු ලබයි. එය ලිප තබන්නේ ලිපේ ගින්දර එළියට ඇදීමෙන් පසුව ය. ඒ හට්ටිය වහන්නේ ද තවත් හට්ටියකිනි. යාන්තමින් හීනියට සුදු දුමක් හට්ටියෙන් නැගෙද්දී ම එය ලිපෙන් බාගැනෙයි. එසේ බාගත් හට්ටිය වහන්නේ ද තෙත රෙදි කඩක් හෝ බිමට දැමූ වතුර පදාසයක් මත ය. එය එසේ තබද්දී "වොස්..." ගාමින් එය අඬා වැටෙයි. එසැණින් උඩ හට්ටිය ඉවත් කළ විට ඉන් වහනය වන්නේ අමුතු ම සුවඳකි..! ආච්චීගේ මැල්ලුම  තනිකර කොළ පාට ය. පොල් පවා කොළ පාට ය..!

බොහෝ විට දවාලට පිසිනු ලබන්නේ මැල්ලුමට අමතර ව තව එක හොද්දක් පමණි. වැඩිපුර දවස්වල එය කිරි හොද්දකි. ඉඳහිට අල හොද්දකි. ඔය අතරවාරයේ තාත්තා අත වැඩිපුර මුදලක් තිබුනොත් මසක් මාලුවක් ගෙන එයි. මාලුවලට වඩා මස් ලැබෙන වාර සංඛ්‍යාව වැඩි ය.. මස් මාලු දෙක ම නැති දවස්වල හාල්මැස්සන් බැදුමක් හෝ බොරයට ඉවූවක් ද අපේ කෑම වේලට එකතු වෙයි. තාත්තා බොම්බිලි කරවල කන්නට හරි ආසා ය..ඊටත් වඩා අපි බොම්බිලි කරවලවලට ආසා ය.. කොච්චර ආසා ද කියනවා‍නම් මුට්ටියක දමා වසා ඇති නොපිසූ බොම්බිලි ද අපි කන්නෙමු.. එහි ඇති අමුර්ත රසය වචනයෙන් විස්තර කළ නොහැක්කේම ය..!!

කරවල දමා ඇති මුට්ටිය වසන්නේ ද පොල් කට්ටකිනි. එහි කරවල තිබුනොත් ඒ හාල්මැස්සන්, බොම්බිලි හෝ බල කරවල ය..එක විඩේකට ගෙනෙන කරවල සාමාන්‍යයෙන් වේල් තුන හතරකට භාවිතයට ගැනෙයි. එනිසා නිතර ම පාහේ මොනවා හෝ කරවල ජාතියක් එහි තිබෙයි. අමු හාල්මැස්සන් මහ වහුතු රහ ය.. නමුත්, බල කරවල තිබෙන දාට කරවල කෑල්ලේ කළුපාට හරිය කඩාගෙන අමුවෙම්ම කන්නට අපි සියල්ලෝ ම පුදුම කැමති ය...ඉව්වාට වඩා ඒවා අමුවෙන් කෑම මාර රහ ය.. වැඩියෙන් ම රස වන්නේ ඒවා තාත්තාට හෝ ආච්චීට හෝ හොරෙන් කන නිසා ය...!!

තාත්තා අපට වැඩියෙන් ම ගෙනෙන්නේ පොඩි මාලු ය. ඒවා කටු බහුල වුව ද අපි ඒවාට මනාප ය.. මස් කාරල්ලන්, හුරුල්ලන්, පරා පැටවුන්, අමු හාල්මැස්සන් මෙයින් ප්‍රධාන වෙයි. ගලේ ඇඹරූ ගොරකා තළියක්, ගම්මිරිස් සහ යහමින් ලුණු ද දමා හදන හුරුල්ලන් ඇඹුල් තියල් වෑංජනය දිව්‍යලෝක රහ ය. ලුනු ගම්මිරිස් අත ගෑ කාරල්ලන් තෙලෙහි බදින සුවඳ දැනුත් මට දැනෙයි...!! යහමින් ඇඹරූ අබ, අමු කහ සහ ගම්මිරිස් දමා උයන පරා පැටව් උකු බොරය අමෘතය ද පරදා කරනු ඇත. තාත්තා හදන පරාපැටව් වෑංජනය වඩාත් රස වන්නේ තාත්තා ඊට යහමින් අබ දමන නිසා ය.. ඉන්දියාවේ දී තාත්තලා වෑංජනවලට පොල් කිරි දැම්මේ නැති ලු.. ඒ වෙනුවට දැම්මේ ඇඹරූ අබ නිසා හැමදාමත් පාහේ අපේ මිරිස් ගල උඩ අබ තලියක් වරදින්නේ ම නැත. යමින් එමින් ගමන ඒ අබ තලියෙන් චුට්ටක් ඇඟිල්ලට ගෙන එය සූප්පු කිරීම ද අපේ අනිවාර්ය චාරිත්‍රයකි...!  .. යකඩ වංගෙඩියේ කොටාගත් කෑලි මිරිස් ටිකක් දමා, හදන අමු හාල්මැස්සන් මැල්ලුම ඊටත් එහා ය..!!

අල හොද්ද හෝ කිරි හොද්ද මේ තරම් රසට උයන්නේ කෙසේදැයි අදටත් අප දන්නේ නැත... එමෙන් ම එයින් පැතිරෙන සුවඳ තවමත් අපට සිතින් ආඝ්‍රාණය කළ හැකි වුවත්, මොන විජ්ජුම්බරයක්වත් දමා හෝ අදටත් අපට පිස ගන්නට නොහැකි ය.. කිරි හොද්ද හෝ අල හොද්ද නටාගෙන එන විට එය හැඳිගාන වතාවත් බාර ගන්නේ අප ය...නොනවත්වා හැඳි නොගෑවොත් කිරි කැටි ගැසෙයි.. හැන්දේ ගැවුණු නටන හොද්ද අල්ලේ තවරාගෙන එහි රහ බලන එක ද මාර ය..අපි එසේ කළාට ආච්චි කවදාවත් හොදි රස බලන්නේ නැත.  

ආච්චී හොද්දේ ලුණු බලන්නේ සුවඳිනි. හැන්ද නහය ළඟට ගෙන සුවඳ බලා තව ලුනු බින්දුවක් දෙකක් දමන සාත්තරය අපට උරුම නොවූයේ මලපෙරේතකමට ඒවා රහ බලන නිසා වන්නට පුලුවන....

Share/Bookmark