Tuesday, May 31, 2016

මගුල් ගෙදර

එදා දවස උදා වී තිබුනේ වෙනදාට කළියෙනි. ඒ අප නොඇසූ කටහඬවල් ගණනාවක කෙළි කවට සිනාවන් නිසා ය. ලොකු අම්මා ද ඒ අතර වූවා ය.. වැඩියෙන් ම ඇසුනේ ඇගේ හඬ ය. ඒ සමග නාස් පුඩු ප්‍රහර්ෂයෙන් මුසපත් කරවමින් ලොකු සුවඳක් ද ගලා ආවේ ය.. හිනා හඬ අස්සෙන් මොනවා දෝ බැදෙන තෙල් තාච්චිය නටන හඬ ඇසුනේ ය...හිස නවා ඔලු කසමින් අප මොහොතක් ඇඳන් මත ම කල් මැරුවෙමු. "යමල්ල පුතේ මූණ කට හෝදගනිල්ල.." ඒ ආච්චී ය. ඒ හඬ වෙනදාටත් වඩා කරුණාවන්ත ය. ආදරණීය ය. අපි ඒ හිමිදිරි උදයේ ම ඩෝ මැට්‍රියට දුව ගොස්, ඇඟ පත සෝදාගෙන ආවෙමු. ඒ ආ විට අපට තිබෙන හොඳ ම ඇඳුම් අඳින්නට ලැබිණි... ඒ "නඩලං ගහල ඕව ජරා කර ගන්නව නෙමෙයි බොලව්..!!" යි ආච්චී ගේ තර්ජනය ද සමග ය.

දසත පුරා පැතිරෙන කෑම සුවඳ බඩගිනි වඩවයි. නමුත් ඒ ගැන සිතන්නටත් පළමු ව වසන්තයියා ප්‍රමුඛ නඩය ම, ඩෝමැට්‍රිය‍ෙ ඉහත්තාවෙන් පල්ලම් බසිනු අපට පෙනෙයි. කුස්සියටත්, ගල් කුලටත් අතරින් ඇති පිදුරු කන්ද ද අපට ඒ සමග පෙනෙයි. පිදුරු කාටුව ඇඟ ගැටී කස කසා සෙල්ලම් කළ හැකි ආනන්දණීය අවස්ථාව සැනෙන් හිතෙන් පලා යන්නේ ආච්චී ගේ තරවටුව යළි ඇසෙන නිසා ය..

අවට ඉඩම්වල නැන්දලා ද, මාමලා ද, ඔවුන්ගේ දුවා දරුවන් ද, තාත්තාගේ පන්තියේ ළමුන් සහ ඔවුන්ගේ වැඩිහිටියන් ද එකා දෙන්නා දැන් අපේ සරණ වෙත එනු පෙනෙයි. ඔවුන් මේ හොඳ ඇඳුම් ඇඳ අපේ දිහා එන්නේ මන්දැයි දැන් දැන් මසිත කුකුසක් පහළ වෙයි. ඒ එන අයගෙන් බොහෝ අය අත මොකක් හෝ මලු කෑල්ලක් ද තිබෙයි. ගෙට එන ගමන් ඔවුන් අප හිස් ද අතගායි. එයින් අවුල් වන කෙස් රොද යළි අපි අතින් සකසා ගන්නෙමු. මේ මොන හෙයියම්මාරුවක්දැයි සිතෙන අතර ම කිසියම් ආනන්දණීය සන්තෝසයක් ද ම සිත පුරා පැතිරෙයි. නමුත් තවම කන්න නො ලැබුණු දුක ද වැඩි මනත් දැනන්නේ අර මනරම් සුවඳ නිසා ය...

උදා හිරු රැස් තරමක් ඉහළ යන අතර වාරයේ, කරත්තයක් යාන්තමින් යා හැකි පාර දිගේ කලු පාට කාරයක් එනු පෙනෙන්නේ ඒ අතර ය... ආච්චී ද, ලොකු අම්මා ද ඇතුලු සියල්ලෝ ම වහ වහා කඩිසර වෙයි. ආච්චී ද ඇඳ සිටින චීත්තය හරිගස්සා ගනිමින්, සිනා මලක් මුව රන්දාගෙන වහා ඉදිරියට දිව එයි. කළු කාරය එන්නේ ඉතා හෙමිනි. ඒ පාර සවුත්තු නිසා ය. අපි සියල්ලෝ ම සීරුවෙන් මේ අලකලංචිය නරඹන්නෙමු. දැන් විටින් විට සැර දමමින් එන කාරයේ හඬ ද අපට ඇසෙයි. ඒ අතරේ ම ඩක් ඩොක් ගාමින් එය සෙලැවෙන හඬ ද අපට ඇසෙයි. කාරයේ කරකවන රෝදය අල්ලාගෙන සිටින්නා කවුදැයි අප හඳුනන්නේ නැත.

එහෙත් කාරයේ පිටුපස ආසනයේ අපට පෙනෙන පැත්තේ තාත්තා වාඩි වී සිටිනු ට පෙනෙයි...

එහා පැත්තේ තවත් කෙනෙක් සිටිනා වග යාන්තමින් පෙනුන ද ඒ කවුදැයි කිසිසේත් ම අප දන්නේ නැත...

කාරය සරණේ එළි පත්තට ආසන්න ව නැවතුණු පසු තාත්තා එහි දොර ඇරගෙන බැස්සේ සුපුරුදු ජාතික ඇඳුමෙනි. එය වෙනදා ට වඩා අලුත් ය. ඊ ළඟට තාත්තා කරය වටේ ගොස් අනෙක් පැත්තේ ද දොර හැරියේ ය. ඉන් බිමට බැස්සේ කාන්තාවකි.. කොණ්ඩ ගුලියේ රතු මලක් ද ගසාගෙන, රතු සාරියකින් සැරසීගෙන ඈ කාරය ඉදිරිය‍ට ආවේ ද සිනා මලක් මුව රන්දාගෙන ය. ඈ බෙහෙවින් පැහැපත් ය. ඒ පැමිණි ඇය පළමු ව ආච්චීට දණ ගසා වැන්දේ වැලි පොළොව මත දී ම ය.. ආච්චී අත වතුර වීදුරුවක් තිබෙනු මා දැක්කේ ද එවිට ය. ඉන් පසු තාත්තා ද ආච්චීට වැන්දේ ය. ඉන් පසු දෙනො ම අප සියල්ලන් සිටි පැත්තට දෙඅත් එක්කර ආයුබෝවන් කීවේ ය... ඊට මා දැක්වූ ප්‍රතිචාරය තුමක්දැයි මතක් කර ගන්නට  මම උත්සාහ කරමි... නමුත් කිසිවක් සිහි නොවන්නේ මුකුත් ම නො කළ නිසා වන්නට පුලුවන.

මේ තාත්තා කැන්දාගෙන ආවේ අපේ කුඩම්මා ය....!!

වාහනය පදවාගෙන ආ මාමා කාරයේ පිටි පස්ස ඇර එහි තිබූ බෑග් මලු දෙක තඅනක් බිමට බෑවේ ය.. ආවේ කවුදැයි කින්ද මන්ද සොයානවාට වඩා අප හැමගේ රාජකාරිය වූයේ කාරයේ වගතුග බැලීම ය. එහි ඉදිරිපස ඉතා තද රස්ණයකින් යුක්ත වූයේ බොහෝ දුරක් පැමිණි නිසා විය යුතු ය. මඩකලපුවේ සිට අම්පාරට හැතැප්ම ම තිස් ගානක් තිබෙන වගක් කළින් අසා තිබුණේ අයියාගෙනි. ඒ ඔවුන් කොළඹ ගිය නිසා ය. කොළඹ සිට එන කෝච්චිය මඩකලපුවට එන්නේ උදේ පාන්දර ය. එතැන් සිට අම්පාරට එන්නට පැය දෙක තුනක් ගත වෙයි. තාත්තලා මේ තරම් ප්‍රමාද වූයේ ඒ නිසා ය.

තාත්තලා ගෙන ආ බඩු මලු රාජකාරි අවසන් වූ විගස කාරයේ මාමා තාත්තාගෙන් යම් මුදලක් අර ගත්තේ ය. ඉන්පසු හේ මඳක් නැවී තාත්තාට සහ බුංචි අම්මාට දෙමළෙන් මොකක්දෝ තනි වචනයක් කීවේ ය. ඉන් පසු ඔහු යළි කාරය දෙසට ඇවිද ගියේ අපේ හිස් පේලිය ම අත ගාගෙන ය... කාරය හරවා ගන්නට දෙතුන් වරක් ඉහළ පහළ ගිය හැම වාරයක ම අපි ඊට අත ගැසුවෙමු. ජනේලයෙන් අත දමා වනමින් ඔහු සැර දමාගෙන යන අතට අපි දු දිව ගියෙමු. ආවාට වඩා බොහෝ වේගයෙන් කාරය අප තනිකර දමා ඉගිළ ගියේ ය.....

අපට යළි බඩගිනි දැනුනේ ඉන් පසුව ය....

Share/Bookmark

Wednesday, April 13, 2016

සැරසිල්ල.

මහා උජාරුවක් නැති ව වුව ද, අවුරුදු නිවාඩුව අවසන් වන්නට ඔන්න මෙන්න තියා, තාත්තා යළිත් වරක් කොළඹ යන්නට ලක ලැහැස්ති වුණේ ය. මෙවර ද මට ඒ වාසනාව අහිමි වූයේ මෙදා වාරයේ පාලිත සමග යන නිසා ය. 

මෙවර තාත්තා යද්දී අප ව පිටස්තර ගෙදරක නැවැත්තුවේ නැත. ආච්චී ද අප සමග සිටියා ය. ඊට අමතර ව ඉතා කුඩා සන්දියේ උහන දී අප ව බලා කියා ගත් කොළණියේ නැන්දා ද පැමිණියා ය. ඈ සමග අප වයසේ ම වූ හීන්දෑරියෙක් ද පැමිණ සිටියෙන් අපට මහා පාඩුවක් දැණුනේ ද නැත. අපි අයියාත් මාත් ඒ කොල්ලාත් ඇති තරම් සෙල්ලම් කළෙමු. වත්ත පිටියේ පැළ සිටෙව්වෙමු. දූවිලි නෑවෙමු. හැන්දෑවේ ඩෝමැට්‍රියෙන් නාගෙන පැමිණියෙමු. නමුත් ඒ සෙල්ලම් කාලය ද ඉතා ම ඉක්මණින් අවසන් වූයේ තාත්තාගේ සංචාරය දින 4කට පමණක් සීමා වීම නිසා ය.

ගමන් විස්තර ඒ තරම් රසට අපට අසා ගන්නට නොහැකි වූයේ ස්වභාවයෙන් ම පාලිත කතා කාරයකු නොවන නිසා ය...එනිසාවෙන් ඒ සිද්ධිය බොහෝ කෙටි මතක සටහනක් ම පමණක් විය.


නමුත් පොසොන් මාසය උදා වත් ම තාත්තා යළි කොළඹ යන බවක් අපට ආරංචි විය. ඒ ආච්චීගෙනි. 
මෙවර තාත්තා කෙළඹ ගියේ තනිව ම ය. එසේ යන අතර නැවත වරක් කොළණියේ නැන්දා පැමිණියා ය. තාත්තා ගිය පසු නැන්දා ද, ආච්චී ද මුලු ගෙදර ම අස් පස් කළෝ ය. අපි දු ඊට උදව් පදව් කළෙමු. ‍චූවලින් පෙඟුණු මෙට්ට අව්වේ දැමීම ද, අව්වේ කරකුට්ටං වී ඇති මෙට්ට මත පිට පිච්චි පිච්චී සෙල්ලම් කිරීම ද මහා විනෝද ජනක විය.. ඒ අතරේ ආච්චී ද අපට බැණ අඬගෑවේ තරහට ම නොවන බව අපට දැනී තිබූයෙන් ඒවා කණකට නොගත්තෙමු. 

දිග ලීයකට කොළ අත්තක් බැඳ මකුළු දැල් කැඩීම ද අපට මහා කාරියක් විය. ඒ කොළ අත්ත පොල් අතු වහළයේ වැදී, දිරූ පොල් අතු කැබලි කැරකි කැරකී සුළ‍ෙඟේ පාව යනු දැකීම ද අපූරු විය. ඊටත් අමතර ව, මාලු කටු ආදිය ද එහෙන් මෙහෙන් බිම වැටුණේ ය. ඒ කාක්කන් විසින් පොල් අතු අස්සේ සඟවා තිබූ ඒවා ය.
සවස් වෙත්දී අල්ලපු කුඹුරේ මාමා ද අපට උදව්වට පැමිණියේ ය. පන්ති කාමරයේ තිබූ ඩෙස් බංකු ටික ඇද, ඒවා එක පිට එක තබමින් බිත්තියක් අයිනෙන් ගොඩ ගැසුවේ ඒ මාමා ය.  දැන් ශාලාව හිස් ය. ලොකු ඉඩක් ලැබී තිබේ. පළමුවෙන් ම මා කළේ මේ ගොම මැටි ගෑ සීතල පොලොව මත වට දෙක තුනක් රෝල් වී යාම ය. ඊට පසු පාලිත ද ඒ අනුකරණය කරන්නට පටන් ගත්තේ ය. එසැණින් ආච්ච පැමිණ මගේ තට්ටමට ගැසූ පහරත් සමග එය ඉක්මණින් අවසන් විය.

පසුව දා අපට වඩාත් සන්තෝස, ප්‍රිය ජනක දවසක් වූයේ ලොකු අම්මා ද, වසන්තයියා ද, අනිල් අයියා ද පැමිණීම ය... 

ලොකු අම්මාත්, ආච්චීත්, කොළණියේ නැන්දාත් කුස්සියට වැද මහා ලොකුවට මොන මොනවාදෝ ලක ලැහැස්ති කළෝ ය.. නැන්දා ලොකු වංගෙඩියෙන් මහා සද්දෙට පිටි කෙටුවා ය. ලොකු අම්මා ඇඳ සිටි සාරියට උඩින් ආච්චීගේ කම්බායක් ඇඳ ලහි ලහියේ පොල් ගෑවා ය... එයින් වරුවකට පසු බැදුම් සුවඳ ද, පැණි සුවඳ ද දසත පුරා ගලා ගියේ අප මහත් අමන්දානන්දයට පත් කරමිනි. ඒ අතරේ වසන්ත අයියාත්, අනිල් අයියාත් නෙක වර්ණ කැරලි ගැසුණු ක්‍රේප් පටි ගෙන, ඒවා සාලයේ වහළය මත රටාවකට එල්ලන්ට පටන් ගත්තෝ ය. අයියා ද ඔවුන් සමග ඒ රාජකාරියේ යෙදුනේ ය. ඉඳ හිට එකට එතී කැරලි ගැසුණු පටි දිග හැර දීම මට පැවරුනේ ය. පාලිතට පැවරුණු රාජකාරිය වූයේ පාප්ප පොල් කට්ට අල්ලාගෙන පෑම ය... මේ සැරසිලි කරන්නේ ඇයිදැයි අපට වගේ වගක් නොවූව ද, ක්‍රේප් පටි වතුරේ පොඟවා, එයින් එන වර්ණවලින් අතේ ඇඟිලි පාට කර ගැනීම මටත් පාලිතටත් ලොකු වැඩක් විය.

අවුරුද්දටත් වඩා සරුවට අපට කැවුම් කොකිස් රස බලන්නට ලැබුණේ ය.... හැන්දෑවේ අපේ සරණ නිවස මගුල් ගෙයක සිරි ගත්තේ ය. ඉර බැස ගිය පසු ලොකු අම්මා ද, වසන්ත අයියා ද, අනිල් අයියා ද ඩෝමැට්‍රිය පසු කර, හොල්මන් ගල දෙසට නොපෙනී ගියේ ය.. එදින රාත්‍රී ආහාරය අතිශය රසවත් එකක් විය. 

සියලු ඇඳන් ගලවා ඇති නිසාවෙන්, සාලයේ මෙට්ට දෙක දමා අපි එහි නිදා ගත්තෙමු. දෙපස දොරවල් දෙක මේස දෙකක් පෙරලා හරස් කර වසා දැමුවේ අයියා සහ මා ය. ආච්චීත් නැන්දාත් නිදා ගත්තේ ඒ අසළින් ම එලූ පැදුරු මත ය. එදා රාත්‍රය කෙතරම් සුන්දර වීද යත් අප කාටවත් චූ ගිහින් තිබුනේ ද නැත.....!

Share/Bookmark