එක් දවසක් ගිගී අංකල් අප ද සමග දඩයමේ ගියේ ය. ඒ පොඩි වැව් පිටියකට ය. විවිධ කුරුලු රෑන් මුළු අහස් තලය ම වසා ගෙන සිටියේ ය. ඒ අතර දස දහස් ගණනින් වූ වී කුරුල්ලන් රෑන් ද එක පොදියට අහසේ සරමින් සිටියේ ය. ගිගී අංකල් සිය තුවක්කුවට පතොරමක් දමා එහි බටයට වී අහුරක් දමා පුරවා, නිකම් ම අහස දෙසට එල්ල කරගෙන සිටියේ ය. ඒ මොහොතේ අහසේ සරමින් සිටියේ අති විශාල වී කුරුළු රංචුවකි. මොහොතකින් කණ් අඩි පුපුරවන තරම් හඬකින් තුවක්කුව පත්තු විය. එ සැණින් වැස්සක් වැටෙන්නා සේ වී කුරුල්ලන් බුරුතු පිටින් මැරී බිම පතිත විය. ඈඹිට්ල්ලන් පොඩිවුන් වූ අයියා ද මමද වී කුරුලු අස්වැන්න තරගයට එක්කාසු කළෙමු. එදා අප රාත්රී ආහාරය බදින ලද වී කුරුල්ලන්ගෙන් සපිරුණේ ය.
එක් දවසක රාත්රයේ පාර වැරදුණු දැවැන්ත නාඹර මුවෙක් අප නිවෙසේ කඩුල්ලෙන් පැන අප වත්තට ආවේ ය. එදා ගිගී අංකල්ට හරි වැඩ ය. ඔහු දිවවිත් අප වත්තේ කඩුල්ල ද, ඔහුගේ කඩුල්ල ද වසා, අප නිවසේ දොරවල් ද වසා දැම්මේ ය. අයියාත් මමත් ජනෙල් කූරුවල එල්ලීගෙන එළියේ කෙරෙන යුද්දය නැරඹීමු. භයෙන් බිරාන්ත ව ඈස් දෙක විශාල කරගෙන මුවා මහා ධාවන තරගයක යෙදුනේ ය. ඒ පස්සෙන් තුවක්කුවත් අමෝරාගෙන ගිගී අංකල් ද මුවා හඹාගෙන දිව ගියේ ය. මෙසේ ටිකක් දුර දුවන මුවා ආපසු හැරී සිය දැවැන්ත අං තට්ටුව පහතට නමා ගෙන නහයෙන් පිඹියි. එවිට ආපසු දුවන්නේ ගිගී අංකල් ය. නිමේෂයකින් යළි මුවා දුවන්නට පටන් ගනී. දැන් යළි ගිගී අංකල් මුවා පස්සෙන් ධාවන තරගයක යෙදෙයි. තාත්තා ද සරම කැසපට ගසා ගෙන පොඩි තල්ලුවක් දුනා සේ මට මතක ය. වරෙක මුවා ගිගී අංකල්ට ද, අනෙක් පසින් තාත්තාට ද කොටු විය. මෙහොතක් වෙලා තදින් හුස්ම ගත් දැවැන්ත මුවා විදුලි සැරයක් මෙන් අඩි හයක් පමණ උස වැටෙන් පැන ඉදිරි වන පෙත තුළ නොපෙනී ගියේ ය. ඉන් පසු තාත්තා ද, ගිගී අංකල් ද හති දමමින් හොඳ හැටි සිනා සෙණු අප බලා සිටියේ ජනෙල් කූරු අස්සෙන් ම ය.