Sunday, April 11, 2010

08 ලොරි බාගෙකින් අම්පාරට...

එක්තරා දවසක තාත්තා අයියා ද, මා ද, පාලිත ද සමග ගමනක් යාමට ලක ලැහැස්ති කර ගත්තේ ය. ඉතා කුඩා නිසා තාත්තා පාලිත ව වඩා ගෙන ගිය අතර, අයියා ද මා ද ගියේ පා ගමනිනි.. ක්වාටස්වල සිට උහන මහා විද්‍යාලය පසු කර අප මං සංධියකට පැමිණුනෙමු. තරමක් කළබලකාරී එදා පොළ දවසක් බව මට යාන්තමට මතක ය. හංදියේ මිනිසුන් ගොඩක් සිටි අතර, එය මට අමුතු දැක්මක් විය. පාරේ අයිනට වන්නට ලොරි බාගයක් නවතා තිබුනේ ය. එහි පිටුපස ඒ වන විටත් තුන් හතර දෙනෙකු සිටි අතර, තාත්තා අප ව ඔසවා එහි පිටු පසින් තැබුවේ ය. මේ ලොරි බාගයක් වුව ද එය බස් රථයක් බවට පරිවර්තනය කරන ලද්දකි. පිටුපස ලොකු පෙට්ටියට ලෑලි පටි ගසා ආවරණය කර තිබුණු අතර, මුහුණට මුහුණ සිටිනා සේ තැනූ දිග බංකු දෙකක් ද එහි විය. අපි රටක් රාජ්ජයක් උරුම වූවන් ලෙසින් මේ බංකුවක් මත විරාජමාන වූවෙමු. තරමක් වේලා ගත වන විට මේ ලොරිය සෙනගින් පිරී යන්නට විය. එවිට තාත්තා ද පාලිත ව ඔඩොක්කුවේ තබා ගෙන අප අසළින් වාඩි විය.

දැන් තත්ත්වය අතිශය භයංකාර ය. මුලු ලොරිය පුරා ම එල්ලීගත් මිනිස්සු ය. අපි තරමක් පැත්තට හැරී ලී පටි අල්ලාගෙන සිටියෙමු. ටිකකින් ලොරිය සැර දමනු ද, ඉන් පසු මහා කළු දුමාරයකින් අප ව වැසෙනු ද මට මතක ය. ඉන් පසු ගැස්සි ගැස්සී ලොරිය දුම් වලාව පසු කරමින් ඉදිරියට ඈදෙන්නට විය. මම වට පිට බැලීමි. එහි සිටින සියලු ගැහැණු මිනිසුන් සියල්ලන්ගේ ම මුහුණු දෙස විමැසිල්ලෙන් බැලීමි. කිසිවකුදු මට හඳුනා ගන්නට බැරි ය. උන්ට ද මා ගැන වගේ වගක් නැත. ඉන් පසු අප පසු කර වේගයෙන් ආ පස්සට ඈදී යන දැවැන්ත ගස් දෙස බලා සිටියෙමි.

ලොරිය ගමනේ තුන් හතර පළෙක ම නැවතුණු අතර, ඒ හැම විටෙක ම දෙතුන් දෙනෙකු බැස ගිය බවත්, ඊටත් වඩා දෙනෙක් එහි එල්ලුණු බවත් මට පෙනෙයි. ඒ එන හැම අත තිබූ වට්ටි, පෙට්ටි, මලු ආදිය ලොරියේ වහළය මතට වීසි කරන්නට කෙනෙක් සිටියේ ය. කට පුරා බුලත් විටක් ඒදාගෙන සිටි ඔහුගේ සරම ඈඳ තිබුනේ ද දනිස්සෙන් පොඩ්ඩක් පහළට වන්නට ය. මේස් බැණියමට යටින් සරමටත් වඩා ලොකු ගැටයක් ගසා තිබුණු අතර, ඔහු හැම විට ම ගියේ ලොරියෙන් එළියේ ය. ​ලොරිය පිටත් වන තෙක් බිමට බැස මිනිසුන් සමග කතා කරන ඔහු ලොරිය පිටත් වූ පසු, අඩි දෙක තුනක් දිව විත් එහි එල්ලෙයි. එසේ එල්ලී, කට මත ඈඟිලි දෙකක් තබා බුලත් කෙළ පහරක් පාරට විදියි. පටු පාරේ වළ ගොඩැලි මතින් දූවිලි අවුස්සාගෙන ලොරිය නැළවෙමින්, පැද්දෙමින්, මඳ ගමණින් ඉදිරියට ඈදෙයි. මෙසේ තරමක වේලාවකට පසු අප සිටි උහන ගම්මානයට වඩා විශාල ගොඩනැගිලි ද, සෙනග ද සිටි ස්ථානයකට ලොරිය පැමිණියේ ය. තවත් අප ලොරිය මෙන් ම වූ ලොරි බාග විශාල ප්‍රමාණයක් එහි තිබූ අතර, එකක ඉදිරියෙන් ගොනාගොල්ල යනුවෙන් ලියූ පුවරුවක් තිබුණු වග මට හොඳට මතක ය.

අම්පාර නගරයයි. මීට කළින් අප ලොකු තාත්තලාගේ ගෙදර යන්නට ද අම්පාර නගරයට පැමිණ ඈති නමුත් අද මට අම්පාර අමුතු තැනක් ලෙස පෙනෙයි..!!

නිහඬ වූලොරියෙන් අප බිමට බස්සවා ගත්තේ තාත්තා ය. ඉන් පසු ඔහු අප ද සමග පාර පැන, ලොකු ගොඩනැගිල්ලක් දෙසට ගමන් කළෙමු. එය අති විශාල ගොඩනැගිල්ලකි. එහි දැවැන්ත ගේට්ටුවෙන් ඈතුලු වූ පසු විශාල පිරිසක් පොලිමේ සිටිනු දුටුවෙමි. තාත්තා ද අප සමග ඒ පොලිමට එකතු විය. අප කුතුහලයෙන් වට පිට බලමින් සිටිනා තර, වඩාගෙන සිටින පාලිත චුරු චුරු ගාමින් සිටියේ ය. ටික වේලාවකට පසු පෝලිම ඉදිරියට ඈදෙන්නට වූ අතර, තාත්තා පුංචි කවුළුවක් තුළ සිටි අයෙකුට මොකක්දෝ කී කීවිට, ඔහු තාත්තාට මොනවාදෝ දුන්නේ ය. ඒ දුන් දේ ද රැගෙන තව අඩියක් පැමිණි තාත්තා, දුඹුරු පාට දොර රෙද්දක් දැමූ විසල් දොර ළඟ සිටි කෙනෙකුට ඒ සියල්ල දුන්නේ ය. ඉන් පසු තාත්තා ඒ රෙද්ද මෑත් කර අප සමග ඈතුළට පැමිණියේ ය. මම මහත් සේ විස්මයට පත් වීමි. කුතුහලයෙන් යුක්ත ව වට පිට බැලීමි. වහළය මත ලොකු පංකා පේලියක් කැරනකමින් තිබුණ අතර, පුටු විශාල ප්‍රමාණයක් පේළි පේළි මෙහි තබා තිබුණේ ය. මම ජීවිතයේ ප්‍රථම වරට විදුලි පංකාවක් දැක්කේ එදා ය. එය ද එකක් නොව පේළියකි..!! මේ අතරේ මොකක්දෝ ගීතයක් ද වාදනය ​වෙමින් තිබුණු අතර, තවත් ගැහැණු මිනිස්සු විශාල ප්‍රමාණයක් උස් හඬින් මොනවාදෝ කියමින් ඒ අසුන් මත වාඩි වී සිටියෝ ය. තාත්තා ද අප සමග පැමිණ හිස් ආසන පේලියක ආරම්භයෙන් ම වාඩි ගත්තේ ය. අපි දු වාඩි වීමු. එසේ වාඩි වී ඉදිරිය බැලූ විට ඉදිරියෙන් දැවැන්ත තිරයක් මට පෙණින. මහත් සේ විශ්මයෙන් ඈළලී සිටි මම වට පිට බැලුවේ ද යාන්ත්‍රික රොබෝවෙකු මෙනැයි මට දැන් සිතේ..

ස්වල්ප වේලාවකින් දැවැන්ත ශාලාවේ විදුලිය බල්බ එකින් එක නිවී ගියේ ය. දැන් කළුවර ය. ළඟ පාත ඉන්නා අයියා ද, ඊට එහායින් සිටින තාත්තා ද මට පෙනෙන්නේ නැත. මම බිය වීමි. නමුත් කරන්නේ කුමක්දැයි නිනව්වක් නැති ව තක්බීර් වී සිටියෙමි. මුලු ශාලාව ම මීයට පිම්බාක් මෙන් නිහඬ විය. එසැණින් ඉදිරියෙන් වූ තිරය දෙපැත්තට ඈරෙන්නට විය. මම පුටුවේ පිටු පසට හේත්තු වුනෙමි. තව මොහොතකින් ඈරුණු තිරය යට තිබූ සුදු පාට බිත්තිය මත ජාතික කොඩිය ළෙල දෙන්නට වූ අතර, මහ හඬින් එය වාදනය වන්නට ද විය. ශාලාවේ සිටියවුන් මෙන් ම තාත්තා ද පාලිතවත් වඩාගෙන නැගී සිටියෝ ය.මාත් අයියාත් පුටුවෙන් බිමට පැන නැගී සිටියෙමු..

ජාතික ගීය වාදනයෙන් පසු මුහුණේ පත රැවුලක් තිබූ සද්දන්ත මිනිසෙක් "හච හච" ගා මොනවාදෝ කියෙව්වේ ය. (ඒ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක සිරිමතාණන් බව මා දැන ගත්තේ බොහෝ කළෙකට පසු ව ය.) ඉන්පසු ශාලාව පුරා යළි කඩි ගුලක් ඈවිස්සුණාක් මෙන් සද්ද රැල්ලක් නැගුණු අතර, පුටු මත එකිනෙකා වාඩි වන සද්ද ද ඊට ම එකතු විය. අපි දු වාඩි වීමු.

දැවැන්ත තිරය මත මොනවාදෝ රූප විසාල් ප්‍රමාණයක් දර්ශනය විය. ඒවා හරි හමන් විදියට මට මතක නැත්තේ ඒ වන විට මගේ සිහිය විකල් වන තරමට ම මම අන්ද මන්ද ව සිටි බැවිනි. ටික වේලාවකින් තිරය මත කළු සහ සුදු පාට විසල් මිනිසුන් කතා කරනු ද, සිනාසෙනු ද මම දිටිමි. ඒ අතර මඳ වේලාවකින් තිරය මත අකුරු පේළි සටහන් විය. ඒ අකුරු පේළි අතරින් සිරි ගුණසිංහ යන නම ද, "සත්සමුදුර" යන විශාල අකුරු පදාසය ද මට ගලේ කෙටුවාක් මෙන් මතක ය.

ඒ අප ජීවිතයේ ප්‍රථම වරට චිත්‍රපටයක් බැලූ දා ය. චිත්‍රපටය සත්සමුදුර විය. අප එය නැරඹුවේ අම්පාරේ රීගල් සිනමා ශාලාවේ දී ය...!!!

Share/Bookmark

23 comments:

  1. ඉතාම අවංකව ලියන ලද අතීත ස්මරණයක් හරිම සුන්දරයි අඩසියවසකට කලින් ගෙවුනු නිමේෂයේ ඔබ ලද අත්දැකීම පොදු එකක් බවට පත්වන්නේ නිරායාසයෙන්

    ReplyDelete
  2. ජීවිතේ වසන්ත කාලෙ

    ReplyDelete
  3. සිනිඳු සුදු මුදු තලාවේ පිපෙන පෙණ කැටි සිනාවේ .... 1969 නේද ඒ චිත්‍රපටිය.
    කෑගහල ඈඬුවෙ නැති එක තමයි පුදුමෙ..

    ඔය කියන ලොරි භාග අපේ පැත්තෙත් 1989 විතර වෙනකම් තිබ්බා මට මතකයි.(දළු ගෙනියන්න තමයි භාවිතා කරේ ඒ දවස් වල)

    ReplyDelete
  4. කතාවේ ඉතුරු ටික කියවන්න ආසාවෙන් ඉන්නේ.............

    ReplyDelete
  5. තේනුවර අයියේ
    අතීතය අමතක කරන මිනිසුන් සිටින මේ නරකිදියේ ඩබ වැනි සුගූනන් දුලබයිං ඩබට ජයවේවාං

    ReplyDelete
  6. තේනුවර අයියේ
    අතීතය අමතක කරන මිනිසුන් සිටින මේ නරකිදියේ ඩබ වැනි සුගූනන් දුලබයිං ඩබට ජයවේවාං

    ReplyDelete
  7. හරිම ලස්සනට කතාව පෙලගස්වල ඒ අතීතය ගැන චිත්ත රූප මවා පාන්නට ඔබේ බස් වහර සමත් වෙනව.

    ReplyDelete
  8. අයියේ..... හරිම සුන්දරයි..... ඔබ සිංහල බ්ලොග්කරණයට යොමුවීම ඊටත් වඩා සුන්දරයි....... (කපිල මල්ලී)

    ReplyDelete
  9. මට දැනුන මේ ලියමනෙ ලොකු අඩුවක්... ම් ම් ම්... මොකක් ද ඒ... ආහ් හරිනෙ. කෝ අයියා පින්තූරයක්. අයිය ඈඳපු චිත්‍රයක් . අන්න ඒකයි අඩුව. දැන් කියන්න එපා මේ ටිකත් ලීවෙ කොච්චර අමාරුවෙන් ද කියල. චිත්‍රයකුත් තිබ්බ නම් කියල වැඩක් නැහැ.

    අනික අපි ලියන comment වලට පසු වදනකුත් ඕනමයි.

    ReplyDelete
  10. හප්පේ.. කවුද හපුච්චියේ දන්නේ ඉන්ද්‍රනාථ මහත්තයා බ්ලොගයකුත් ලියනවා කියලා.. අදනේ දැක්කේ.. හරිම අමුයි.. හරිම රසයි.. කියවන්න කියවන්න ආසයි.. දිගටම ලියන්න සූභාසිරි.. ජය ජය වේ.. :)

    ReplyDelete
  11. සත්සමුදුර චිත්‍රපටය බැලූ දා දැණුනු හෘදයාංගම බව අදත් මට දැනුනා.. ගොඩක් දෙනා අද මගේ බ්ලොග් එක බලලා කියල දැනුනම...

    වත්සලා නංගී.. මේකට චිත්‍රවත් ෆොටෝවත් හොයා ගන්න විධියක් නැහැනෙ.. මේකට තියෙන්නෙ චිත්ත රූප විතරයි..!!

    හැමෝටම ස්තූතියි.. විශේෂයෙන් ම රචින්තට.. ඔබ මේක ටැග් කළ නිසාවෙන් ගොඩ දෙනෙක් එකතු වෙලා නිසා...!!

    ReplyDelete
  12. මේ කතාව කියෙව්වට පස්සෙ මට හිතුන කවුරු හරි කෙනෙක් Research එකක් කරා නම් හොඳයි කියලා මෙවගේ දුකක් විඳගෙන තමන් ගේ ලමයින්ට චිත්තරපටියක් පෙන්වන්න පුලුවන් තාත්තලා කී දෙනෙක් හොයාගන්න පුලුවන් ද කියලා

    ReplyDelete
  13. නියමයි...... හරිම රසවත්...මැවිලා පේනවා...

    ReplyDelete
  14. කියවන්න කියවන්න ආසයි.. දිගටම ලියන්න සූභාසිරි.. ජය ජය වේ.

    ReplyDelete
  15. හරිම අගෙයි ඉන්ද්‍රනාථ අයියා.අහම්බෙන් දිල්ශාරා වෝල් එකේ ටැග් කරලා තියෙනවා දැකලයි බැලුවෙ.මේ කතාවට පාලිත අයියත් සම්බන්ධ නිසා පොඩි ළග ගතියකුත් දැනුණා.දිගටම ලියන්න.අපි ආසාවෙන් කියවනවා.

    ReplyDelete
  16. Apuuruyi obe mathakaya....
    Mawunu chitha ruupa narambamin rasa vindemi.

    ReplyDelete
  17. අපේ තාත්තත් මාව ගොඩක් පුංචි කාලේ ඉඳන්ම චිත්‍රපටි බලන්න එක්ක ගිහින් තියෙනවා. ඒත් මුලින්ම බලපු එක ගැන හරියට මතකයක් නෑ . .

    ඔන්න මාමේ කෙල්ල පැනපි කියලා ෆිල්ම් එකක් වගේ තමයි මතක . .

    ඒකත් පස්සේ කාලේක තාත්තායි අම්මයි ඒක ගන කතා වුනු නිසා.

    හැබැයි මොකක් හරි ෆිල්ම් එකක් බලන්න ගිය වෙලාවක අල්ලපු ගෙදර ෆිල්ම් එකේ කමින් පෙන්නුවා. ඒ ටික නම් මේ දැන් දැක්කා වගේ මතකයි. . .

    ReplyDelete
  18. ඔයා දන්නවද අයියා.1986 1994 කාලේ මන් ඉස්කෝලෙ ගියෙත් මේ වගේම ලොරි බාගෙක.ඒ ගමන හරිම සුන්දරයිතපිරිමි ළමයි අපට හූ කියනවා දැක්කම.ඉතින් අපි යන්නේ හැංගිලා.

    ReplyDelete
  19. Thamath reagal eka Ampare thiyenawane. awurudu hatharakata kalin awurudu 4 apith Ampare wada kara, bohoma sundara mathakayak thiyenawa.

    ReplyDelete
  20. මටත් අදවගේ මතකයි අම්මයි,තාත්තයි අයියයි එක්ක ජීවිතේ පළමු වතාවට චිත්‍රපටියක් බලන්න ගිය දවස.. විත්‍රපටය පූජා රගපැවෙ ජෝ අබේවික්‍රම,අමරසිරි කලංසූරිය.. මතුගම ගාමිණී එකෙන් තමා බැලුවෙනම්.. සර්ට උනා වගේම දේවල් අත්දැකීම් වශයෙන් හිතට එකතු උනා!

    ReplyDelete
  21. හිතට එකඟව කියන්නම්,
    අම්මප මේ ලිපි ටික කියව කියව එද්දි හිතුනේ ඉන්ද්‍රනාත මහත්තයත් එක්ක අඩියක් ගහන්න තිබුනනම් කියල.

    ReplyDelete