Friday, January 22, 2010

02 - අප අතහැර නොගිය නෑදෑයෝ

නෑයෝ සහ වේයෝ බොහෝ සෙයින් සමානයැයි නොයෙක් වර අප අසා ඈත්තෙමු. දැන් මෙන් එකළ අපට මහා නෑදෑ සමූහයක් සිටි බවක් මම නොදනිමි.

අප දන්නා, අපට ඉතා ම වැඩිමහල් ම, නෑදෑයා වූයේ තාත්තාගේ අම්මා වන අපේ ආච්චි ය. ඉතා ම මිටි ගැහැණියක වූ ඈයට දිව්‍යලෝක රසට සමාන ව අහර පාන උයන්නට හැකියාවක් තිබුණාය. දක්ෂ රන් කරුවකු වූ සීයා පිළිබඳ ව අපට කිසිදු මතකයක් නැත්තේ ඔහු අප අතැර ගියේ අප ඉතා ම පුංචි සන්දියේ නිසා ය.

තාත්තාගේ වැඩිමහල් සහෝදරිය අක්කා , අපේ නැන්දා ය. නමින් මිලී මාග්‍රට් නම් වූ ඈය ද ආච්චි මෙන් ම මිටි තැනැත්තියක ද වූ අතර, පුරාණ ග්‍රාම චාරිත්‍රවලට අනුව නම ගම පමණක් ලියන්නට තරම් අධ්‍යාපනයක් ලද්දියක වූවාය. ඈඳුම් මහන්නට ද, රේන්ද ගොතන්නට ද, රසට උයන්නට ද ඈයට පුලුවන් වූයේ පරපුරේ උරුමයකින් විය යුතු ය. ඇ සාදන මාලු සම්බලය ද, නෙලුම් දඬු මාලුව ද මතක් කරගෙන පමණක් අදත් මට බත් කෑ හැකි ය. එය එතරම් ම රස ය. ඇ විවා පත් ව පදිංචි ව සිටියේ කොළඹ වැල්ලවත්තේ ගාලු පාරේ අංක 325 දරණ තැන ය. මාමා ද රන් කරුවකු වූ අතර, නමින් හෙන්දිරික් සිංඥෝ වුව ද, හේ ප්‍රසිද්ධ ව සිටියේ රත්තරන් මුදලාලි නමිනි. මඩකලපු පලයකාට් සරමක් හැඳ, මේස් බැනියමට උඩින් කළු කෝට් බෑව ද ඈඳ, පොකට් දෙක තුනක් සහිත මහත හම් පටිය ද පැළැඳ, යතුරු කැරැල්ලක් ඉනේ ගසාගෙන, මෝල් ගසක් ගිල්ලා සේ ඍජු ව ඈවිදින, උස මහත, පෙනුමැති හේ නිතර ම නැන්දාට බැණ අඬ ගසනු වුව ද, දරු මල්ලන් ද නැති ඔහු - අපට, විශේෂයෙන් ම අපේ තාත්තාට ද, මට ද බෙහෙවින් සමීප ව සිටියේ ය.

යුරෝපීය ඈඳුම අඳින, හිස මැද්දෑවේ තට්ටයකින් ද හෙබි, තාත්තාගේ අයියා, ආතර් ද සිල්වා තේනුවර හෙවත් අපේ ලොකු තාත්තා ද දක්ෂ නිර්මාණ ශිල්පියෙකි. හේ රැකියාව කලේ අම්පාරේ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සැලසුම් නිර්මාණ ශිල්පියකු හැටියට ය. කාඩ්බෝඩ් සහ කෝක් ශීට් භාවිතා කර ගොඩනැගිලි අනුරූ තනන්නට ඔහු දැක් වූයේ පුදුමාකාර සමත් කමකි. අතිශය සියුම් විස්තර ද සමග ඔහු ඒවා නිර්මාණය කරනු දකින අප ද විසි කරන කෝක් ශීට්වලින් පොඩි පොඩි අත්හදා බැලීම් කළෙමු. නිවාඩුපාඩු වෙලාවට ලොකු තාත්තා පිරිත් මණ්ඩප කැටයම් කලේ ය. සුදු කඩදාසි ගොන්නක් එක මත එලා විවිධ පමණේ කැටයම් කටුවලින් හේ නෙක රටා මැව්වේ විශ්වකර්මයකු මෙන් ය. මහගම සේකර නිර්මාණ ශිල්පියාගේ තුංමංහන්දියේ අබිලිං මාමා ට ඔහු සමාන ය. නමුත් අඩි ගැහුවේ නැත. ඔහු කැටයම් කපනු බලා සිටින අප ද , කඩදාසි එක මත එක තබා කැටයම් කපන්නට අත් පොත් තැබීමු. අපට කැටයම් නියන් තිබුණේ නැත. අප කළේ විවිධ ප්‍රමාණයේ ඈණ අග තලා ඒවා ඈමරි කඩදාසි මත උරච්චි කර, අපට අවශ්‍ය කැටයම් නියන් සාදා ගෙන කැටයම් කැපීම ය.

අපට සිටි ලොකුම නෑයා ගැන කියන්නට මඳක් පමා වන්නේ අප අතැර නොගිය නෑයන් අතර ඈය නැති නිසා ය. ඇය අපේ අම්මා ය. මට අපෙ අම්මාගේ රූප සොබාව හොඳට ම මතක ය. ඈ දැන් අපේ ලොකු නංගී වාගේම ය. ඊට වඩා ටිකක් කළු ය. අපට හිමි ඉදිරියට නෙරූ දත් වහල්ලේ සැබෑ උරුමක්කාරයා ද ඈයම ය. අම්මාට බිම ගෑවෙන තරම් ඉතා දිගු කොණ්ඩයක් තිබුණේ ය. ඇ දිය නා අවසන හිස වේලෙන්නට කොණ්ඩය ගසද්දී මම එහි එල්ලී උංචිලි පැද්දා මට මතක ය. එවිට අම්මා හිස බදාගෙන ඌ..ඌ කියූ හඬ අදත් මට සිහිනෙන් ඇසෙන්නා සේ ය. අම්මා පිළිබඳ ව අපට ඈත්තේ කෙටි මතකයක් පමණි. ඒ වෘත්තියෙන් පුහුණු ඉංග්‍රීසි ගුරුවරියක වූ අපෙ අම්මා 1967 මාර්තු මස 11 දින අප අතැර ගිය නිසා ය. ඒ වන විට අපේ පවුලේ සාමාජික සංඛ්‍යාව 6 දෙනෙකි. ඇ මිය ගිය දා උපන් මල්ලී නමින් අමර විය.
Share/Bookmark

5 comments:

  1. අම්මා නැතිව ළමයි 6 දෙනෙක්ව බලා කියා ගන්න තාත්තා ලොකු මහන්සියක් දරන්න ඇති..............

    ReplyDelete
  2. අනේ අයියලගේ අම්මා අයියලා කුඩා කාලේම අතහැරලා ගියා කිව්වම නම් හිත බොහොම රිදුනා. . . ජීවිතේ හැටි . .

    ReplyDelete
  3. Amma....Aaadarayee ulpatha wuu Amma....
    Oba nirmaanashiilii pawulaka upan nirmaanakaruweki. Ee wagema ''Ekeku weyi ek deyakata samatha'' yana wadana wenas kala ayeki. Bohoo sathutu wemi oba gana.

    ReplyDelete
  4. මේ දුක්බර අවසානයක් සහිත කොටස මට මග ඇරිලා...
    ඔබගේ පියා ඉතාම වෙහෙසක් දරන්න ඇති බව හිතෙනවා ඔබ 6 දෙනෙක් බලා කියාගෙන හදාවඩා ගන්න...

    ReplyDelete