මට වයස අවුරුදු තුන හතරේ දී සිදු වූ සිද්ධීන් පවා මෙතරම් හොඳින් මතක තිබෙන්නේඇයි දැයි කියන්නට මම නොදනිමි. ඒවා සිදු වූ දින වකවානු අමතක වුව ද, සිදුවූ සියල්ල සිනමා පටයක් මෙන් යළි මතක් කර ගන්නට මට පුලුවන. හොඳ සංස්කාරකවරයකු සිටින්නේනම් මැනැවයි සිතෙන්නේ ඒවා පෙළ ගැසෙන්නේ අතරින් පතර නිසා ය.
උහන අප සිටි ක්වාටස්වල පිටුපස්සේ කුකුළු කූඩුවක් ද තිබුනේ ය. එහි කිකිළියන් ද කුකුළන් ද ගණනින් කියන්නට නොදන්නේ වුව ද, යම් ප්‍රමාණයක් සිටි බව මතක ය. ඒ අතරේ "චීක් චීක්" ගාමින් බෝල ගෙඩි මෙන් පෙරළෙන කහ පාට කුකුළු පැටවුන් රොත්තක් ද සිටියෝය. කුකුළු කූඩුව තිබුණේ අපේ ගෙයි පිළිකන්නේ පඩිපෙල පාමුල ය. නමුත් ගෙයි මට්ටමේ ය. බිම සිට කූඩුව දක්වා, දිගු පරාලයක හරස් පොලු කෑලි ගසා ඉනිමගක් වැනි උපකරණයක් තනා හේත්තු කර තිබුනේ ය. දවල් තිස්සේ මිදුලේ කෙකර ගාමින් එකල මෙකල වෙන කුකුළු රෑණ හැන්දෑවත් ම මේ ඉනිමග දිගේ කූඩුවට නැග ගනිති. බොහෝ දිනවල අප උන්ගේ පස්සේ එළවා ගොස් කූඩුවට ගාල් කළෙමු. එය අපට මහත් විනෝදයක් ගෙන දෙන්නක් විය.
මේ කුකුළු රෑණේ රජා සේ සිටි දැවැන්ත කුකුළා පොර කුකුළෙකු බව අප පසු කාලයක දැන හඳුනා ගත්තේ කුකුළකු අඳින අයුරු ගැන තාත්තා කියා දුන් පාඩමක් අනුසාරයෙනි. ඒ පාඩම කොතෙක් රසවත්දැයි කියනවානම් අදත් මට අපූරුවට කුකුළු රූප අඳින්නට පුලුවන. නිකං කුකුළාගේ කකුළේ ඈඟිලි සීමාවට උඩින් තවත් ඈඟිල්ලක් වැනි පොර කටුවක් නැත. නමුත් අපේ කුකුල් රජාගේ ලොකු පොර කටුවක් තිබුණා අපට මතක ය. ඌ සිය වාසස්ථානය ලෙස තෝරාගෙන තිබුණේ පිළිකන්නේ තිබුණු දැවැන්ත සියඹලා ගසේ පහත අත්තකි.
වරක් කොහෙදෝ අයාලේ යන බල්ලෙක් අප වත්තට පැමිණි මොහොතක අපේ මේ කුකුළු රජා ඒ බල්ලාට පහර දුන් අයුරු මට තාම මතක ය. බල්ලා දුටු සැණින් පැටවුන් පිරිවරා ගත් කිකිළියන් රංචුව තොර තෝංචියක් නැති ව හඬ තලන්නට පටන් ගත්තෝ ය. එසැණින් එතැනට ආ අප කුකුළු රජා සිය ඇඟ පිහාටු පුම්බා, බෙල්ල වකයක් සේ නවා, හිස බිමට හරවා අමුතු ගොරහැඩි හඬකින් ශබ්දයක් පිට කළේ ය. ඉන් පසු අත්තටු යුගළය වරක් දෙවරක් හයියෙන් ගැසුවේ ය. ඊට පසු පියවර දෙක තුනක් පසු පසට ගොස්, තදින් අත්තටු ගසමින් පොළොවෙන් ඉහළට නැග, ඊ ගසක් පහත් වන වේගයෙන් බල්ලා දෙසට පහත්වන අතර ම, සිය පොර කටුව සහිත පාදයක් ඔසවා වැරෙන් පසුපසට පහරක් ගැසුවේ ය. ඒ පහර වැදුනේ බලු නයිදේගේ අසට තරමක් ඉහළින් ඔලුවට ය. බල්ලා මර හඪ තළමින් බිම දිගේ වට දෙක තුනක් පෙරලුනේ ය. උගේ හිසෙන් වැගිරැණු ලේ පහර බිම දිගේ රටාවක් ඈඳුනු අතර, මඳක් කෙඳිරි ගාමින් සිටි බල්ලා නැගිට, "බැහූ.. බැහූ.." ගාමින් මහ හඬින් හඬමින්, විදුලි වේගයෙන් නොපෙනී ගියේ ය. අපේ ජයග්‍රාහී කුකුළු නාම්බා යලිත් වරක් උජාරුවෙන් හඬලන විට, මේ අලකලංචිය කුමක්දැයි බලන්නට අම්මා ගෙතුළ සිට දුව ආවා ය.
මේ අවස්ථාවේ අප තුන්දෙනා, අයියා මම සහ පාලිත මල්ලී සිටියේ කිකිළියන් සහ පැටවුන් මැදි කර ගෙන උන්ට කෑම දෙමිණි. පඩි පෙළ දිගේ ඉක්මන් ගමණින් දුව ගෙන ආ අම්මා අප තුන් දෙනාව ම එකවර තුරුල් කර ගෙන පඩි පෙළ දෙසට ඈද ගෙන ගියා මට මතක ය.
සෑම දා ම උදේ පාන්දර අපට බිත්තර සපයන්නට අප කිකිළි රෑණ සැදි පැහැදී සිටියෝ ය. උදෙන් ම නැගිට, ඉස්කෝලේ යන්නට පෙර, අම්මා අප එක්කෙනෙකු ද වඩාගෙන කුකුළු කූඩුවේ බිම අතගා බිත්තර ඇහින්දා ය. අප ද ඒ අතරේ අත දමා බිම කාල් ගාන්නෙමු. සමහර දවස්වල අප අතට අසුවන බිත්තර එබෙන සුලු ය. ඒ දැමු ගමන් බිත්තරවල කටුව ඝණ වන්නටත් පෙර අවස්ථාව ය.
සමහර දිනවල අප කුකුලු කූඩුවට අත දමා අහුලා ගන්නා බිත්තර බිඳ අමුවෙන් ම ගිල දමන්නෙමු. බිත්තරය කටට වඩා ලොකු නිසා මුහුණ පුරා සාරු වැගිරෙන බැවින් මේ පෙරේතකම හැමදාම අම්මාට අසු වෙයි. එවිට ඈ අපට කළ තරවටුව කුමක්දැයි මට මතක නැත. නමුත් ඈ අප දෙස බලන බැල්ම නම් මට අදත් මතක ය. ලොකු නංගී අදත් අප දෙස බලන්නේ ද ඒ ආකාරයෙන් ම නිසා ය..
සත්තු පුංචි කාළේ අපේ හොදම යාළුවො. මගේ හිතත් මොහොතකට මගේ ළමා කාලයට රැගෙන ගියා....
ReplyDeleteverification අයින් කරොත් comments දාන්න ලේසි වේවි නේද
ඔබතුමාගේ ලිපිය හරි අගෙයි. ඔබ වැනි විවිධ ක්ෂේත්‍ර වල උදවිය බ්ලොග් අවකාශය තුල දකින්නට ලැබීම හරිම සතුට දනවන්නක්.
ReplyDeleteසින්ඩියේ ඔබ ලියලා තියෙන ශෛලිය කියවද්දි මට හුරු ගතියක් දැනුන නිසා ඔක්කොම කියෙවිවෙ. ඔබ ඉන්ද්‍රනාත තේනුවර කියලා දැනගත්තේ බිලොග් එකට ආවට පස්සේ. ඔබගේ කතා කීමෙ කලාව මම මීට පෙර හොදින්ම දැනගත්තේ 'සරණ මංගල්‍ය චාරිත හා සිරිත් විරිත්, ඒ ටු ඉසෙඩි පොටෝ ෂොප්, වෙඩින් පොටෝගැපි කියන පොත්වලින්. ඒ පොත් ලියලා තියෙන්නෙ පුදුම රසවත් විදියට. ඒවා ගැන කියන්න මෙක වෙලාව නෙමෙ උනත් මම ඔබ මුණ ගැසුන දවසක කියන්න දෙයක් හිතේ තියන් හිටියා. ඒක මම දැන් කියන්නමි. අර එක පොතක තියෙනවා 'මෙ තියෙන්නෙ කවදාවත් නොමැකෙන කාටවත් මැකිය නොහැකි අපේ මතකය'කායලා කොටසක් ඒ කොටස මම නැවත නැවත නියවනවා.කියවද්දි කොචිචර කියෙවිවත් ඒ කොටස කියවද්දි මගේ ඈස් වලට කදුලු උනනවා ඒක ඒ තරමි පාඨක සිත් වලට සමීපයි. ඡායාශීල්පය ගැන උදාහරණ එක්ක උගන්වන බස ඉතාම රසවත්. ඔබ මෙය කියෙවිවානමි මට ඒ ඈති. මම බුද්ධි. lakkanabuddhi@gmail.com
ReplyDeleteඔබෙ පොත් මා ලග ගොඩක් තියෙනවා. ඒවා ඉතාම රසවත්. ඡායාරූපකරණය පිළිබද ඔබ අපිට පොත් වලින් උගන්න විදිය හරිම රසවත්. ඔබ මගේ හද බැදි කලාකරුවෙක්. ඔබ වැනි අය සයිබර් අවකශෙයේ සැරිසැරීම තරුණ අපට මහත් උද්යෝගයක් ගෙන දෙනවා.
ReplyDeleteඔබ ඔබගේ ජීවිත කතාව පොතක් ලෙස පලකරන්නේ කවදාද?
අදයි දැක්කෙ ඔයාව.මමත් ආස විෂයක් ඔයා කරන්නෙ. මමත් කරලා තියනවා කැම්පස් එකෙ. නමුත් දිගටම ගියෙ නැහැ. එ උනත් ලස්සන නිස්කලංක තැනක් හම්බ උනොත් අත් අරින්නෙ නැහැ. එතන ගෙදර ගෙනියනවා. කැමරා එක ඇතුලට දාගෙන
ReplyDeleteහුගක් කලා කරුවන්ගේ ළමා කාලය හරියට හැමෝම ආසකරන වීර ක්‍රියාවක් වගේ.. හැම අත්දකීමක්ම සෑහෙන්න අලුත්.. වෙනස්...සමහර විට මේ අනාගතයට ඒ අතීතය හේතු වෙන්න ඇති............
ReplyDeleteඔබට ඇත්තේ අපූරු මතකයන්.....හිතට හුගාක් දැනෙන මතයන්.....හුගාක් රස වින්දා
ReplyDeleteRasawath mathakayak. Matath mage punchi kale mathak una.
ReplyDeleteහරිම අපූරුයි අයියා . . . හරියට චිත්‍රපටියක් බලනවා වගේ . . ඒ තරම්ම සජීවියි
ReplyDeleteමේක රජ කුකුළෙක්ගෙ කතාවක්නෙ.. ඒ නිසා හුගක්ම රසවත්!හික්..
ReplyDeleteමේ කතාවල් ලියලා තියෙන සරල භාෂා විලාසය නිසා හිතට තදින්ම වදිනවා.. .. ඔබතුමා මේවා ලියන්නේ කිසිම ආයාසයකින් තොරව ඒ ඔබතුමාගේ ආත්ම කථනය නිසා... එකපාර සේරම කියවන්නේ නැත්තේ මේ ලැබූ මිහිරි ආශ්වාදය අනෙක් කතාවෙන් යටපත් කරන්නට ඇති ලෝබකම නිසා.....
ReplyDeleteමම ලොකුවෙලාවක් අරන් සෙමෙන් රස්විදිමින් මුලසිට මේ සුන්දර කතාව කියවමින් ඉන්නේ..
ReplyDelete